වස විස නැති වැල-වරකා ගැන ඔබ දන්නවාද?

බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි වැඩි ප්‍රියතාවයක් දක්වනවා. නමුත්, ශ්‍රී ලංකාවේ වෙසෙන්නන් ලෙස, අපේ රට තුළදීම සපයාගත හැකි ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැති මුත් බත් ගසේ මිහිරි ඵලයක්වන වැල සහ වරකා වලට ඒ අතුරින් මූලික තැනක් හිමිවේ.

වැල යනු කොස්‌ ශාකයේ ස්‌ත්‍රී වර්ගය වන අතර මෙහි ඇත්තේ ශීත සහ මධුර ගුණයකි. මෙහි ඇති ආවේණික පැණි රසය නිසා මෙය පලතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය වනුයේ ඉතාමත්ම අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. පෝෂ්‍ය පදාර්ථ විදිහට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන්ම තන්තු බොහෝ ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතවේ. වරකාවල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර, මළබද්ධය ඇති වීම වළක්වයි. එමෙන්ම ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවදානද ම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමටත්, වයස්ගත පෙනුම අඩු කර වීමටත් මෙය සමත්. එසේ ම, වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත් සිදු වෙනවා.

වැල ළපටි අවස්‌ථාවේ සිට ඉදුණු අවස්‌ථාව දක්‌වා කාන්තාවන්ගේ ඩිම්බ වර්ධනයට සහ ඔවුනගේ කාන්තා හෝමෝන වල ඇතිවන ගැටලුවලට ඉතා ගුණදායි ඖෂධයකි. සෘෂි නාඩි වෛද්‍යවරුන්ට අනුව වැල මදුළු කිහිපයක්‌ හොඳින් මිරිකා යුෂ පානය කිරීම තුළින් කාන්තාවන්ගේ ඩිම්බ මේරීම ඒවායේ සරු බව වර්ධනයට ඉතා ගුණදායකවේ.

කොස්‌ සහ වැල රාත්‍රියට ආහාරයට ගැනීම එතරම් ගුණදායි නැත. මෙහි පිෂ්ඨය අධිකවීම සහ තන්තුමය ගුණයද වැඩි නිසා දිරවීමේ අපහසුතා ඇතිවේ. එහෙයින් බඩේ අජීර්ණය, බඩ පිපුම ආදිය මතුවිය හැකිය. දිවා ආහාරයක්‌ ලෙස හෝ උදෑසන ආහාරයක්‌ ලෙස ගැනීම ගුණදායකය. වැල ඉදුනු පසු ශීත ගුණයෙන් වැඩි නිසා රාත්‍රියට ආහාරයට ගැනීම තුළින් සෙම් කෝප විය හැකිය.

මිල අධික ආනයනික පලතුරුවලට වඩා, අපට පහසුවෙන් සොයා ගතහැකි මෙවන් සරල පලතුරු වර්ග අතුරුපස, ජෑම් ආදී ලෙස සකසා ආහාර වේලට එකතු කර ගැනීමෙන්, ආහාරයේ වටිනාකම වැඩි වනවා වගේම, සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමටත් එය හේතුවක්. වස විස නැති වැල සහ වරකා අදම ඔබේ ආහාර වේලට එක්කරගන්න.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles