රතු රෝස මතක

” රතු රෝස මල් හැමදාම පිපෙනවා චේතිය. ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒවා වටින්නෙ පෙබරවාරි මාසෙදි විතරයි.”

මේ පෙබරවාරියත් පටන් ගත්තෙ පුරුදු විදියටම සචිනිගෙ වචන මතක් කරන ගමන්. දැන් අවුරුදු පහක් ගෙවිලා. ඒත් සමහර දේවල් ලේසියෙන් අමතක නොවෙන හැටි.

පැත්තක නිදන් හිටපු මේඝනා දිහා මං බැලුවෙ හූල්ලන ගමන්. සචිනි මගෙ ජීවිතෙන් ගියෙ කොච්චර ඉක්මනින් ද.. මේඝනා මගෙ ජීවිතේට ආවෙ ඊටත් වඩා ඉක්මනින්.

නෑ..හරියටම කිව්වොත් සචිනිව මං මගෙ ජීවිතෙන් අයින් කළාට වඩා ඉක්මනින් මං මේඝනාව ළං කරගත්තා.

මිනිස්සුන්ට හුඟක් දේවල් හරිම ලේසියෙන් අතඅරින්න පුලුවන්. ඒත් ඒ දේවල් අතඇරියට පස්සෙ දැනෙන පසුතැවීමයි, පාඩුවයි දරා ගන්න මිනිස්සුන්ට හරි අමාරුයි.

මේඝනා කැමති වුනේ මට නෙමේ. මට තියෙන දේවල් වලට. ඒ බව දැන දැනම වුනත් මම මේඝනාව තෝරගත්තෙ අර පසුතැවීම අමතක කරන විකල්පයක් විදියට වෙන්නැති. එක අතකට මේඝනාත් පව්. එයත් තව කෙනෙක්ගෙ විකල්පයක් විදියට මුලු ජීවිත කාලෙම ගෙවනවා. මාත් මුලු ජීවිතේම ගෙවන්න විකල්පයක් විදියට එයාව තෝරගෙන තියෙනවා.

තව කෙනෙක්ගෙ විකල්පයක් වෙලා ජීවත් වෙන මිනිස්සු හරි පව්. ඒ මිනිස්සුන්ට අනික් කෙනාගෙන් කිසිම දෙයක් සීයට සීයක් ලැබෙන්නෑ. මට වුනත් සචිනිට තරම් මේඝනාට ආදරේ කරන්න පුලුවන්ද. ඇත්තම කිව්වොත් මම මේඝනාව කසාද බැන්දට මේඝනාට ආදරේ කරන්නෙ නෑ.

” ලොකු ලොකු දේවල් පස්සෙ දුවන්න කලින් ළඟ ඉන්න මිනිස්සුන්ට ආදරේ කරන්න පුරුදු වෙන්න චේතිය. ඔයා වෙනුවෙන් බලන් ඉන්න මිනිස්සුන්ව අතරමං කරලා දුවන්න ගිහිං දවසක ඔයාම හති වැටෙයි..”

සචිනිගෙ උපන්දිනේ පහු වෙලත් දවස් ගාණකට පස්සෙ උපන්දිනේ මතක් වුණු, එහෙම වෙලත් බොහොම සාමාන්‍ය විදියට කෝල් එකකින් විතරක් සමාව ඉල්ලපු මට සචිනි කිව්ව ඒ දේවල් ආයෙත් මතක් වෙනවා.

ඇත්ත. මං දැන් ඉන්නෙ හොඳටෝම හති වැටිලා. ඔෆිස් එකේ එක ප්‍රමෝෂන් එකක් වෙනුවෙන් මං නැති කරගත්ත දේවල්!

හොඳ තත්වයක් තිබුණා කියලා, අත දිග ඇරලා වියදම් කරන්න සල්ලි තිබුණා කියලා මිනිහෙක්ගෙ ජීවිතේ තෘප්තිමත් වෙන්නෙ නෑ. මිනිහෙක්ට සතුටින් ඉන්න පිරුණු හිතක් ඕනෙ. ඒත් සචිනියි, සචිනිගෙ ආදරෙයි නැති වුණ දවසෙ ඉඳන්, තාමත් මගේ හිත හිස්. අවුරුදු පහක් ගෙවිලත් ඒක තාමත් ඒ විදියමයි.

” ප්‍රමෝෂන් එක හම්බවුනාට පස්සෙ මම සචිනි එක්ක ඉස්සර වගේ ඉන්නවා. මේ දවස් ටිකට එයාව ටිකක් මඟ ඇරුනට මොකද. එයා දරාගෙන ඉඳීනෙ.”

අන්න ඒක තමයි මට වැරදුන තැන. සම්බන්ධතාවයකදි තමන් මොන දේ කළත් අනික් කෙනා ඒ හැමදේම දරාගන්න ඕනි කියලා හිතපු එක. මිනිස්සුන්ගෙ දරා ගැනීමේ සීමාව පැන්නම මිනිස්සුන්ගෙ හිත් ගල් වෙනවා කියලා මං දැනන් හිටියෙ නෑ. එක්කො දැනගෙන හිටියත් මට ඒක අමතක වුණා.

විනාඩියකට දෙකකට සීමා වෙන කෝල්, මාස ගාණක් පමා වෙන හමු වීම්, ගුඩ් මෝනිං, ගුඩ් නයිට් විතරක් වුණ මැසේජ් සාමාන්‍ය දෙයක් වෙන්න වැඩි කාලයක් ගියෙ නෑ. ඒ හැමදේම සචිනි හොඳින් දරාගත්තා කියලා හිතුවට, ඒක එහෙම වුනෙත් නෑ.

කෝල් වල මැසේජ් වල නෙමේ ආදරේ තියෙන්නෙ, හිතේ තමයි ආදරේ තියෙන්නෙ කියලා මම මාව වගේම සචිනිවත් රවට්ටන්න හැදුවට අන්තිමට සචිනි රැවටුනෙත් නෑ, මං රැවටුනෙත් නෑ. මොකද එහෙම රැවටෙන්න තරම්වත් ආදරයක් ඒ වෙද්දි මගෙ හිතේ ඉතුරු වෙලා තිබුනෙ නෑ. මොකක් හරි දෙයක් නිසා මට සචිනිගෙ වටිනාකමක් දැනෙන්නැතුව ගිහින් තිබුණා.

” අපි සෙපරේට් වෙමු සචිනි. මට ඔයා ගැන කිසිම හැඟීමක් නෑ. “

අවුරුදු හතරක් ජීවිතේ බෙදාගත්ත කෙල්ලට එහෙම කියද්දිවත් දැනුනෙ නැති දුකක් ඒ වෙන්වීමෙන් අවුරුදු පහකට පස්සෙ හිත කොනිත්තනවා වගේ දැනෙනවා.

ඒ දේවල් බොහොම ඉක්මනට සිද්ධ වුණා. මට කිසිම කරදරයක් නොකර, දුරකථන අංක වල ඉඳන් සියලු සම්බන්ධතා අවහිර කරලා සචිනි යන්න ගියා. මං හිතන්නෙ මට වැඩිපුරම රිදුණ තැන ඒක. සචිනි මගේ ළඟට ඇවිත් ඇඬුවා නම්, දාලා යන්න එපා කිව්වා නම්, වෛර කළා නම් මට මේ තරම් රිදෙන එකක් නෑ. ඒත් බොහොම සාමකාමී විදියට සචිනි හැමදේකින්ම අයින් වුණා කියන එක මට දරාගන්න අමාරු වුණා.

පිරිමි අපි වෙලාවකට හරි පුදුම ජාතියක්. ගෑණුන්ට කරන්න පුලුවන් හැම වෙනස්කමම කළාට පස්සෙත් ඒ ගෑණු අපි මත්තෙම ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. අඬලා වැලපිලා සමාව දෙයි කියලා හිතනවා. එහෙම නොකර ඒ ගෑණු හිත් වලින් ශක්තිමත් වෙනකොට මොකද්දෝ මදිකමක් අපිට දැනෙන්න ගන්නවා. ඊට පස්සෙ අපි ඒ ගෑණුන්ට වෛර කරන්න ගන්නවා.

ඒත් සචිනිට වෛර කරන්න මට ලේසි වුනේ නෑ. හැබැයි මට ආයෙ සචිනි ඕනෙ කියලා හිතුනෙත් නෑ. වැඩි කාලයක් නොගිහින් ප්‍රමෝෂන් එක ලැබෙද්දි, ඒත් එක්කම වගේ මං මේඝනාට ළං වුණා. මේඝනාට ළං වෙලා මම සචිනිව අමතක කරන්න උත්සාහ කළාට ඒකෙන් වුනේ මට ඊටත් වඩා සචිනිව මතක් වෙන්න ගත්ත එක.

මීට මාසෙකට විතර කලින් දවසක මම සචිනිගෙ අලුත් ෆේස්බුක් ගිණුම දැක්කෙ අහම්බෙන් වගේ. බොහොම පිරිසිදු හිනාවක් මූණෙ රඳවගෙන, කඩවසම් තරුණයෙක් එක්ක උන්න සචිනිගෙ සමහර පින්තූර මට ලොකු කතාවක් කිව්වා. මං නැතත් ඈ සතුටින් ජීවත් වෙන බවට ඒ හැම පින්තූරයක්ම සාක්ෂි දැරුවා.

කූඩුවේ උන්නු කිරිල්ලිට ඉගිලෙන්න කියලා දොර ඇරලා දුන්නෙත් මම නම්, එයා ඉගිලිලා ගිය එක ගැනවත්, ඉන් පස්සෙ වෙන කැදැල්ලක් තැනුව එක ගැනවත් පසුතැවිලා මොකටද…මගේ දේවල් වල ප්‍රතිඵල මම බාර ගන්න ඕනි.

සැබෑ ප්‍රේමය කියන්නෙ තමන්ට හිමි වුනත් නැතත් අනෙකාගේ සතුට දිහා උපේක්ෂාවෙන් බලා හිඳීම. මේ ගෙවුණු අවුරුදු පහ ඒ බව මට වඩාත් හොඳින් තේරුම් කළා.

” ආදරේ කියලා කියන්න විශේෂ දවසක්වත්, විශේෂ තැනක්වත් ඕනෙ නෑ චේතිය. හැම දවසක්ම, හැම තැනක්ම ආදරේ කරන මිනිස්සුන්ට විශේෂයි. “

එක වැලන්ටයින් දවසක සචිනි කිව්ව වචන මට ආයෙත් මතක් වුණා. අවුරුදු විස්සෙදි , විසි පහෙදි වැලන්ටයින් කියන්නෙ මහා ලොකු දෙයක් වුණාට , රෝස මල් ඇතුළෙ ආදරේ නැති බව ටික ටික පරිණත වෙද්දි අපිට තේරෙනවා. ගැඹුරු විදියට ප්‍රේමයෙන් බැඳුණු මිනිස්සුන්ට වැලන්ටයින් දවස කියන්නෙත් කැලැන්ඩරේ තව එකම එක දවසක් විතරක් බව තේරුම් ගන්න, ජීවිතේ දකින මිනිහෙක්ට පුලුවන්.

සචිනි බොහොම පොඩි වයසක ඉඳන් ජීවිතේ ගැඹුර දකින්න පුරුදු වෙලා හිටිය කෙල්ලෙක්. ඈ ජීවිතේ ගැන කිව්ව දේවල් ඊට අවුරුදු ගාණකට පස්සෙ හරි මම තේරුම් ගනිමින් ඉන්නවා. ඒ වගේම එහෙම පරිණත ගැහැණියක් අහිමි කර ගැනීමේ පාඩුව මම විඳිමින් ඉන්නවා.

ඒත් අතීතයේ බොහොමයක් දේවල් දැන් තියෙන්නෙ අපට වෙනස් කළ නොහැකි මට්ටමේ. දැන් මම සචිනි කියා නොදුන් ජීවිත පාඩමක් ඉගෙන ගනිමින් ඉන්නවා. සමහර විටෙක ඇය මට ඒක තනිවම තේරුම්ගන්න ඉඩ දෙන්න ඇති.

අපට වෙනස් කරන්න බැරි දේවල් ගැන පසු තැවිලා වැඩක් නැහැ. වෙනස් කරන්න පුලුවන් දේවල් වලින් අපි සතුට හොයන්න ඕනි.

සචිනි කියා දුන්නෙ නැති වුණත් කාලය විසින් මට කියා දුන්න ජීවිත පාඩම ඒක.

ඒ නිසා මම පටන් ගන්න තීරණය කළා. විශේෂ දවසක් හෝ විශේෂ තැනක් වෙනුවෙන් බලා නොඉඳ, මේඝනාට හදවතින්ම ආදරේ කරන්න පටන් ගන්න හිතුවා.

මගේ ආදරයට පිළිතුරු විදියට මේඝනාත් මට ආදරය කරන බව මට විශ්වාසයි. ඉතිං මේ පෙබරවාරියෙදි ආයෙත් අපේ ජීවිත වල මල් පිපෙන්න පටන් ගනීවි…!

-මේකලා දහනායක –

More Stories

Don't Miss


Latest Articles