විශ්වාසය යනු වචනයක් පමණක්ම නොවේ

වත්සලා ලෑස්ති කරපු කෑම පාර්සලය මේසෙ උඩින් තිබ්බේ පිරුණු හිතකින්. රවීන්ගේ විලවුන් සුවඳ දැනෙන කොට ඔහු කාර්යාලයට යන්න සූදානම් වෙලා ඉවරයි කියලා වත්සලා අනුමාන කළා. සිනාමුසු මුහුණින් රවීන් කාමරෙන් එලියට ආවේ එතකොටමයි.

” අද මීටින් එකක් තියෙනවා වත්සලා හවසට.එනකොට පැයක් දෙකක් පරක්කු වෙයි ” 

රවීන් එහෙම කිව්වේ කෑම පාර්සලය අතට ගන්න ගමන්. 

” මං හවසට පන්සලට යන්න හිතුවා.ගිහින් ඇවිත් කෑම හදල තියන්නම්. ඔයා වැඩ ටික කරගෙන එන්නකො පරිස්සමෙන් ” 

රවීන් වත්සලා ගේ නළල මත හාදුවක් සටහන් කරලා එළියට බැස්සා. එතකොටම වගේ අල්ලපු ගෙදර රාධිකා ආවා

” අනේ රවීන් අයියේ. අද බස් ස්ට්‍රයික් එකක්ලු .ඔයාට පුලුවන්ද මාව office එක ගාවින් දාගෙන යන්න ? ” 

රාධිකා එහෙම ඇහුවේ වත්සලා දිහාත් බලන ගමන් 

” රවීන් යන්නෙත් ඔයාගේ ඔෆිස් එක කිට්ටුවටම නේ නංගි. එයා ඔයාව දාගෙන යයි ” 

රවීන් පිළිතුරක් දෙන්නත් කලින්ම වත්සලා කිව්වේ කාට උනත් අපහසු වෙලාවක උදව්වක් කරන එක ඇයට සතුටක් වෙච්ච හින්දා. රවීන් වාහනයට නගිනවාත් එක්කම රාධිකාත් වාහනයට නැග්ගා. දෙන්න පිටත් වෙලා ගියාට පස්සෙ වත්සලා මිදුලට ආවෙ මිදුල අතුගාලා දාන්න හිතාගෙන 

” කොහෙද අර රාධිකා රවීන්ගේ වාහනේ නැගලා ගියේ ? “

අල්ලපු ගෙදර උදුලා තාප්පෙන් එබුනේ එහෙම අහගෙන 

” අද බස් නැහැල්ලු උදුලා ඇන්ටි. රාධිකා ගේ ඔෆිස් එක තියෙන්නේ රවීන්ගේ ඔෆිස් එක ළඟ නිසා එයාව දාගෙන යන්න පුළුවන්නේ ” 

” ඔයාට බය නැද්ද ? ” 

උදුලා එහෙම ඇහුවේ වටපිට බලන ගමන්. වත්සලා ඉදලත් අතේ තියාගෙන මොහොතකට නතර වුණා 

” ගින්දරයි පුළුනුයි ලං කරන්න හොඳ නෑ වත්සලා . මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කියලා මතක තියාගෙන වැඩ කරන්න ” 

උදුලා ගෙ වචන වත්සලාගේ හදවතේ කොනක නතර වුණා. ඒත් තමන් කවදාවත් පටු විදිහට හිතන ගැහැනියක් වෙන්නේ නෑ කියලා වත්සලා ආයෙ ආයෙම හිතුවා. විවාහ වෙච්ච දා ඉඳලම රවීන් කවදාවත් විශ්වාසය කඩ කරල නැති නිසා උදුලා ගේ වචන ගැන ආපහු හිතන්න ඕනේ නැහැ කියලා වත්සලා අන්තිමට හිතුවා 

ආයෙමත් දවසක හවස් වරුවේ රවීන් ගෙදර එනකන් වත්සලා මග බලාගෙන ඉන්නකොට රවීන්ගේ වාහනයෙන් බැහැලා එන රාධිකා ව දැක්කම වත්සලා තිගැස්සුණා

” රාධිකා බස් හෝල්ට් එකේ ඉන්නවා දැකලා මම දාගෙන ආවා ” 

රවීන් බොහොම සැහැල්ලුවෙන් එහෙම කියාගෙන ගෙට ගොඩ උනා.කාට හරි උදව්වක් කළාම ඒකෙ වගතුග හොයන එක තමන්ගෙ පුරුද්ද නෙමෙයි නිසා වත්සලා තේ හදන්න හිතාගෙන කුස්සියට ආවා. 

” දැන් රාධිකාගේ ගමන රවීන් එක්කමයි නේද වත්සලා ? ” 

ගෙදර හදපු ලැවරියා ටිකකුත් අරගෙන උදුලා හවස් වරුවක වත්සලාගේ ගෙදරට ආවා

” මම උදේ කඩේ ගිහින් එනකොට දැක්කා රාධිකා කඩේ ගාව ඉඳලා රවීන්ගේ වාහනයට නඟිනවා ” 

වත්සලා පිළිතුරක් නොදී මොහොතක් කල්පනා කළේ ඒ ගැන රවීන් නිකමටවත් තමන්ට කියපු නැති නිසා . ඕනාවට එපාවට පිළිතුරු දීලා උදුලාව පිටත් කරලා ඇරියාට පස්සේ වත්සලාට කල්පනා කරන්න ගොඩක් දේවල් තිබුණා. 

” අදත් රාධිකා ඔයා එක්කද ගියේ රවීන් ? ” 

නිදාගන්න ලෑස්ති වෙලා කොන්ඩෙ පීරන ගමන් වත්සලා ඇඟට පතට නොදැනී රවීන් ගෙන් ඇහුවා. රවීන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වෙන හැටි වත්සලා පැහැදිලිවම කන්නාඩියෙන් දැක්කා 

” ආ.. ඔව් මේ. එයාව මගදි හම්බුනා. ඔයාට කවුද කිව්වේ ? ” 

රවීන්ගේ කලබලකාරී බව අඳුනගන්න වත්සලාට අපහසු වුණේ නැහැ 

” උදුලා ඇන්ටි දැකලා තිබුණා ” 

” එයත් මාර බෝම්බයක් නේ ” 

” එයා දැක්ක දේ නිකමට කියන්න ඇති. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි ” 

” මොකද්ද වත්සලා ? “

” හැමදේම මට කියන ඔයා ඇයි මට ඒක විතරක් කිව්වෙ නැත්තෙ කියලා ” 

” අයියෝ ඒක එච්චර හිතන්න දෙයක් නෙමෙයි අනේ. මේ වැඩත් එක්ක මට ඒක කියන්න අමතක උනා ” 

රවීන් එහෙම කිව්වත් වත්සලාගෙ හිත යට ඇවිලෙන ගින්දර නිවන්න ඒ වචන වලට පුළුවන් වුණේ නැහැ. ඇයගේ හිතට මොකක්දෝ අමුත්තක් දැනෙමින් තිබුණා 

සති අන්තයේ චිත්‍රපටයක් බලන්න යන්න වත්සලා ප්‍රවේශපත්‍ර වෙන් කලේ ජීවිතේ දැනෙන ඒකාකාරී බවින් මිදෙන්න හිතාගෙන. රවීන්ගෙනුත් ඒකට අකමැත්තක් තිබුනෙ නැති නිසා වත්සලා ඒ ගමනට ලෑස්ති උනේ කවදටත් වඩා උනන්දුවෙන් 

” අයියෝ මොකක්ද වත්සලා ඔය ඇඳුම ? ” 

වත්සලා සූදානම් වෙලා ඉවර වෙනකොට රවීන් ඔහු දිහා බැලුවේ ලොකු වරදක් කරලා වගේ

“ඇයි රවීන් ? මේ ඔයා මට birthday එකට අරන් දීපු ගවුම නේ ? ” 

” ඒ උනාට මේ වගේ ගමනකට ඕක ගැලපෙන්නේ නැහැ. ඩෙනිම් එකක් අඳින්න. බලන්නකෝ අනේ අර රාධිකාලා. අලුතින් එන fashion ගැන පුදුම දැනුමක් තියෙන්නේ. ඔෆිස් එකට උනත් අඳින ලස්සන බලන්නකෝ ” 

රවීන් එහෙම කියාගෙන කාමරෙන් එලියට ගියා. වත්සලා ලොකු සුසුමක් හෙලලා හිතේ තිබුණු මොකද්දෝ බරක් හෑල්ලු කරන්න උත්සාහ කරා. රවීන් කියපු විදියට සූදානම් වෙලා චිත්‍රපටය බලන්න ගියත් වත්සලා හිටියේ ඒ තරම් සතුටකින් නෙමෙයි

රාත්‍රී ආහාරයත් එළියෙන් ම අරගෙන ආපු නිසා රවීන් ගෙදර ආව ගමන්ම නින්දට වැටුණා. ඒත් වත්සලාට නම් නින්ද අහලකටවත් ආවේ නැහැ. පහුගිය දින ගැනත් , උදුලා වරින් වර තමන්ට අනතුරු අඟවපු හැටි ගැනත් වත්සලා කල්පනා කරා. එතකොටම රවීන් අසල තිබුණ දුරකථනයේ එළියක් දැල් වෙන හැටි වත්සලා දැක්කා. ඔහුට තදින්ම නින්ද ගිහින් තිබුන නිසා වත්සලා රවීන්ට ආව කෙටි පණිවුඩය විවෘත කළා

” ෆිල්ම් එක ලස්සනද ? ” 

කෙටි පණිවිඩය තිබුණේ රාධිකා ගේ නමින් කියලා දැක්කම වත්සලාගේ හිතේ ගිනි ඇවිලුනා. වත්සලා රවීන්ගේත් රාධිකාගේත් සංවාදය සම්පූර්ණයෙන්ම වගේ කියවල බැලුවේ එක හුස්මට

තමන්ගේ අතින් වෙලා තිබුණු පුංචි පුංචි අඩුපාඩු වගේම නොකරපු වැරදිත් රවීන් ,රාධිකා එක්ක දුක්ගැනවිලි විලාසයෙන් කියලා තිබුන ආකාරයට වත්සලාට හැඬුම් ආවේ නොදැනීම. 

” මේ ලෝකෙ වෙන්න බැරි දෙයක් නෑ කියලා මතක තියාගෙන වැඩ කරන්න ” 

උදුලා ගේ වචන ආයෙ ආයෙමත් කන් ඇතුලේ දෝංකාර දෙනවා වගේ වත්සලාට දැනුනා 

තමන් අතින් බිරිඳට විශාල වරදක් උන බව රවීන් පිළිගත්තත් ඔහුට සමාව දෙන්න වත්සලා සූදානම් වුණේ නැහැ. ආදරය කියන්නේ විශ්වාසය මත පදනම් වන දෙයක් බවත් රැවටීමක් ඇති තැන බැඳීමකට ඉඩ නැති බවත් රවීන් තේරුම් අරගන්නකොට හුඟක් ප්‍රමාද වෙලා තිබුණා. 

රවීන් වෙනුවෙන් සම්පූර්ණ කාලය යොදවන්න තීරණය කරලා හිටපු වත්සලා තමන්ගේ වෘත්තිමය කටයුතු ආපහු පටන් අරගෙන තමන්ටම කියලා ආදායම් මාර්ගයක් සකස් කර ගන්න තීරණය කරේ රවීන් ගෙන් වෙන් වෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කර ගන්න ගමන්. රැවටීමට ලක්වුන වත්සලාගේ හිතේ හයියට පරාද වෙන්න රවීන්ට අන්තිමට සිද්ධ වුණා 

ඔබ ආදරය කරනවා නම් , ඔබ ආදරය කරන කෙනා, ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය ඔබ විසින් රැක ගත යුතුමයි. එසේ නොවුණහොත්  බැඳීමක් බොහෝ කල් පවතින්නේ නැහැ. බැඳීමක වටිනාකමක් දන්නා අයෙක් කිසිම දිනයක බැඳීම් සමඟ සෙල්ලම් නොකරන අතර එසේ කරන අය හට ස්වභාවධර්මයෙන් කෙදිනක හෝ දඬුවම් ලැබෙනු ඇත.

More Stories

Don't Miss


Latest Articles