ගුණයෙන් පොහොසත් අපේ පාරම්පරික සහල් ගැන දන්නවාද?

ලංකාවේ අපි ප්‍රධාන ආහාර වේල් තුන සඳහා බත් අනුභව කරනවා. නමුත් ආහාරයට ගන්නා සහල් වර්ගය පිළිබඳ අප සැලකිලිමත් වන්නේ ඉතාමත් අඩුවෙනි. ලංකාවේ පාරම්පරික සහල්වලට අයත් සහල් විශේෂ ගණනාවක් තිබෙනවා. ගුණයෙන් පොහොසත් මෙම සහල් ගැන දැන සිටීම වැදගත්.

සුවදැල්

මෙය සුවඳ මෙන්ම රසයෙන්ද පෝෂණය වූ සහල් වර්ගයකි. බාර හාර ඔප්පු කිරීමේදී කිරි ආහාර (කිරි දානය) සකස්‌ කිරීමටද යොදා ගැනේ. දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමටද, සමබර කායික වර්ධනයට ද සමේ වර්ණය රැක ගැනීමට ඇතිකර ගැනීම සඳහාද බෙහෙවින් උපකාරී වේ.

රත්දැල්

සිරෝසිස් රෝගයෙන් පීඩා විඳින්නන්ට සහනයක් ගෙන දෙනු ලබන මෙය ඉතා රසවත් රතු සහලකි. මෙයින් සාදනු ලබන තලප සහ හොද්ද වයිරස් උණ රෝගීන් සඳහා ඉතා යෝග්‍ය වේ. මානසික ආතතිය නිසාවෙන් හට ගනු ලබන කුෂ්ඨ සඳහාද නිර්දේශිත වන අතර මුත්‍රාශ ආශ්‍රිත රෝගයන්ට සහනයක් ගෙන දීමේ හැකියාවක්ද ඇත. ශරීරය සිහිල්ව පවත්වා ගෙන යාමටත් මෙම සහල් උපකාරී වේ.

කළු හීනටි

ඖෂධීය ගුණයන්ගෙන් ඉතා ඉහළ අගයක්‌ හිමි වන රතු කැකුළු සහල් වර්ගයකි. ගර්භණී සහ කිරිදෙන මවුවරුන්ට දිනපතා ආහාරයට ගැනීම සුදුසු වේ. කැඳ සාදා පානය කිරීමද ඉතාමත් ගුණදායකය. තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ආහාර ජීර්ණ ක්‍රියාවලියේ පහසුව සඳහාත් කායික වර්ධනය සඳහාත් යෝග්‍ය වේ. දියවැඩියාව මෙන්ම උණ රෝග සඳහා ද සර්ප විෂ නැසීමටද මෙම සහල්වල විශේෂ හැකියාවක්‌ පවතී.

කුරුලු තුඩ

ප්‍රෝටීන් හා මේදයන්ගෙන් පිරි ඉතා පෝෂ්‍යදායී මෙන්ම රසවත් රතු හාල් විශේෂයකි. කුඩා දරුවන්ට ලබාදීම තුළින් ඔවුන්ගේ ශරීර ශක්‌තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතී. පිත්තාෂයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි.

හැටදා වී

රතු සහල් වර්ගයක් වන අතර දියවැඩියව පාලනය සඳහා උපකාරී වේ. ශරීරයේ දැවිල්ල පහකර සිහිලැල් ගතියක් ලබා දේ. ජෛව විසංතුලනය නිසා ඇතිවන රෝගයන්ට සහනයක් ලබා ගත හැකි බව කියවේ. එමෙන්ම කායික ශක්තිය වැඩි කර ගැනිමටද, හෘද්වාහිනි රෝග, ලේ වමනය යනාදි රෝගයන් සඳහාද බෙහෙවින් උපකාරි වේ.

මඩතවාලු

මෙය ඉතා තද මෙන්ම රළු භාවයකින් යුත් රතු සහල් වර්ගයක්. ආයුර්වේද ප්‍රතිකාරවලදී ප්‍රතිශක්‌තිකරණය වඩා ශක්‌තිමත් ලෙස පවත්වා ගැනීමට ඉතා යෝග්‍ය වේ. ශරීර ශක්‌තිය අඩු රෝගීන් සඳහා මඩතවාලු කැඳ ලබාදීමද ඔවුන්ගේ ශක්‌ති ප්‍රමාණය වර්ධනය කර ගැනීමට උපකාරී වේ.

පච්ච පෙරුමාල්

පාරම්පරික සිංහල සංස්‌කෘතිය තුළ දිව්‍යමය සහල් ලෙසින් සැලකෙන මෙම සහල් බොහෝ විට දානමය කටයුතු සඳහා යොදාගනු ලබයි. ගුණය අතින් ඉතා ඉහළ වන අතර ප්‍රෝටීන් බහුල දිනපතා ආහාරයට ගැනීමට ද සුදුසු සහල් වර්ගයකි.

මා වී

තන්තු බහුල සහල් වර්ගයක්‌ බැවින් ආහාර ජීර්ණ ක්‍රියාවලියට වැදගත් වේ. රතු දුඹුරු පැහැයට හුරු මා වී සිහින් හැඩැති සිරුරක්‌ පවත්වාගෙන යෑමට උපකාරී වන නිසා කාන්තාවන් අතර අතීතයේ සිට ඉතාමත් ප්‍රසිද්ධ සහල් වර්ගයකි. ශරීරයේ උෂ්ණාධික බවට මෙන්ම ක්‍ෂය රෝගයටද ගුණදායකයි. දියවැඩියාව, මළබද්ධය, හෘද රෝග, තරබාරුකම මැඩීම සඳහා යෝග්‍ය වේ.

බෝනොවන රෝග බොහොමයක් වළක්වා ගැනීමට හෝ සුවකර ගැනීමට දේශීය සහල් වර්ගවල තිබෙන ඖෂධීය සංඝටක ගැන මෑතක සිට වැඩි අවධානයක් යොමුව ඇත. මෙතරම් ගුණවත් දේශීය පාරම්පරික සහල් වර්ග එදිනෙදා ආහාරයට එකතු කර ගනිමු ද?

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles