නොගැළපෙන කතන්දර

“එරන්දි තාම සෑහෙන්න දොස් කියනවා මචං”

අමල් එහෙම කියනකොට පවන් කිසිම දෙයක් නොකියා තේ එකක් හදන්න පටන් ගත්තා.ඉස්සර කාලේ මේ ගෙදර ආවම අහන්නේ බලන්නේ නැතුව තේ හදන්න කෙනෙක් හිටියේ නෑ.

“මොනවද අමල් අයියේ බොන්නේ?”

එරන්දි ඉස්සරලම කරන්නේ එහෙම අහන එක.ඊටත් පස්සෙ මොනවා හරි අලුත් රෙසිපි එකකට හදපු බීමක් බොන්න ලැබෙනවා.එරන්දිගේ කෑමත් දිවිය ලෝක රහයි.එරන්දි හදන කෑම කන්න යාලුවෝ හැමෝම පුදුම පෙරේතකම තමයි තියෙන්නේ.

“කිසිම දෙයක් කන්න බෑ අමල්.අනේ එරන්දි නංගිගෙන් පරිප්පුයි බතුයි හරි කන්න තිබ්බනං හරි.”

දුව ලැබෙන්න ඉන්නතුරාම ලක්මිණි එහෙම කිව්ව හැටි අමල් ආයෙම වතාවක් මතක් කළා.ලක්මිණිට විතරක් නෙමෙයි,හැම මිතුරියක් ම ඔය වදය එරන්දිට දුන්නා.එරන්දි එච්චරම රහට කෑම හදනවා.

“ගේක හැටි බලපං.පන්සලක් වගේ තිබ්බ තැන.”

අමල් ගේ පුරාම ඇහැ යැව්වා.ඉස්සර පවන්ගෙ ගෙදරට ගිහින් ආපු ගමන් ලක්මිණි කරන දෙයක් තිබුණා.මුළු ගෙදරම අස්කරන එක.ඒ තරමට එරන්දිගේ පිළිවෙළ ඇහේ ඇනෙනවා.තමන් ගැන ලැජ්ජා හිතෙනවා.ඒ තරමට එරන්දි පිළිවෙලයි.

“ඇත්තටම ඔය ප්‍රස්නෙ කතා කරලා විසඳගන්න ඕන එකක් පවන්.”

දික්කසාද නඩුවට කලින් මිතුරාගෙ මේ ප්‍රශ්නය විසඳලා දෙන්න අමල්ට හිතුණා.ආදරෙන් හිටිය දෙන්නෙක්ට වෙන් වෙන්න ඉඩ අරින පවක්.අමල් හිතුවෙම එහෙමයි.පවන් කිසිම දෙයක් කියන්නෙත් නෑ.එරන්දි නම් ඕනෑවටත් වඩා දේවල් කියනවා.එහෙම එක පාර්ශවයකින් දේවල් වැඩියෙන් පැතිරෙන්න ගියාම හානියත් වැඩියි.

“එරන්දි ට කැමති දෙයක් කියපුවාවේ.”

පවන් එහෙම කියන්නේ හැඟීම්විරහිත හඬකින්.ඒත් මිනිස්සුන්ට හැමදාම එහෙම ඉන්නත් බෑ.ඒ නිසා කතා කරන්නම වෙනවා.

“හැමදෙයක්ම අවුල් වුණු ගෙදරක ඔහොම ඉන්න පුලුවන් ද පවන්.”

අමල් ආයේම එහෙම කියනකොට වෙච්ච දේවල් ගැන කතා කරන්න පවන්ට හිතුණා.

“මං හිතන්නේ මගේ ඔලුව අවුල් නැති එක අවුල් වුණු ගෙදරක ඉන්නවට වඩා මට සහනයක්.”

එරන්දි එක්ක ගෙවුණු ජීවිතේ එච්චරකට ඔලුව අවුල් කරාද කියලා අහන්න හිතුණත් අමල් පවන්ට කතා කරන්න ඉඩ දුන්නා.

“දැන් ඔයා ඔය කියන දේවල් ඩිවෝස් වෙන්න කාරණාද කියන්නකො”

ඒ මොහොතේම තවත් තැනකදි එරන්දිගෙන් එහෙම ඇහුවේ දර්ශා. ඒත් කිසිම කෙනෙකුගේ තීරණ විනිශ්චය කරන්න බෑ කියලත් ඒ එක්කම දර්ශාට මතක් වුණා.

“කිසිම පිළිවෙළක් නැති මනුස්සයෙක් එක්ක ජීවත් වුණා ඇති දර්ශා.මගේ තීරණේ වෙනසක් නෑ.”

එරන්දිගේ හඬේ තිබුණේ පසුතැවිල්ලක් ද කේන්තියක් ද කියලා දර්ශා හිතුවා.

ගඳ ගහන මේස්,අපිළිවෙලට ගලවලා විසි කරපු ඇඳුම්,හැම තිස්සෙම හැඩි කරන නානකාමරය වගේ කතකතන්දර ගැන එරන්දි ඊට කලින් දහස් වාරයක් කියලා ඇති.ඒත් මේ කතා එරන්දි ආයෙම ආයෙම කියන්න කැමතියි.පුදුම තරමට පිළිවෙලට තියාගන්න කැමති ගෙදරක් පවන් අතින් හැඩි වෙච්ච විදිය ගැන එරන්දි කතා කරන්නවත් කැමති නෑ.ඒත් කතා නොකරත් බෑ.

“මම මොනතරම් රස‍ට පිළිවෙලට කෑම උයලා දුන්නත් එයාට හොඳ කඩේ මල ජරාව.ඔය රසකාරක අහුරු පිටින් දාලා හදන ජරා කෑම කන්න මං පොඩ්ඩක් වත් කැමති නෑ.එහෙම තියාගෙන එයාට ඒවා උස්සගෙන නෑවිල්ලා ඉන්න බෑ.”

මේ චෝදනාවත්  දර්ශාට අහලා පුරුදුයි.ඒත් මේවා වෙන් වෙන්න හේතුද?

“මොකද නැත්තෙ? ඔයා හිතන්නකෝ මට අපිළිවෙල ගෙදරක ජීවත් වෙන්න ගියාම පිස්සු හැදෙනවා.මම පුළුවන් තරමක් ගේ අස් කරනවා.එයා ඒ වේගෙන්ම හැඩි කරනවා.අනිත් එක ඔයා හිතන්න මං දරුවෙකුට මොන තරම් ආසයිද? පවන් කියන්නේ අපිට දැන්මම දරුවො හදන්න බෑ කියලා.”

ඒ වගේ කාරණා වුණත් කල් තියා කතා කරගන්න ඕනෑ දේවල් කියලා දර්ශාට කියන්න හිතුණා.ඒත් හොඳටම හිත රිදවා ගෙන ඉන්න මිතුරිය තව රිද්දන්න ඇයට හිතක් නෑ.

“කතා කරලා විසඳගන්න බෑ කියල හිතෙනවනම් වෙන් වෙන එක හොඳයි තමයි.ඒත් අනේ මන්දා.”

උපදේශනය හෝ කතාබහ කිරීම මේ වගේ ප්‍රශ්නයකට විසඳුමක් කියලා හිතන්න දර්ශා කැමතියි.ඒත් මිතුරිය එහෙම කැමැත්තක් නෑ.

“ඔයාට හිතෙන්නේ නැද්ද ඕනෙම ඕනෙම කෙනෙක්ට තමන්ගෙම කියලා lifestyle එකක් තියෙනවා කියලා.”

දර්ශා එහෙම ඇහුවේ කරුණාවෙන්. මෙච්චර දවසක් ඇය එරන්දිව අහගෙන හිටියා.එහෙම අහගෙන හිටිය පලියට ප්‍රශ්නවලට විසඳුම් නැති බව දැන් ඇයට වැටහෙනවා.ඒ නිසා එරන්දිට මේවා තේරුම් කරලා දෙන්න ඕන.

“අපි ආදරය කරන කාලෙදි ඕනෑවටත් වඩා ආදරේ කරනවා.හැබැයි ආදරේ කරන වෙලාවෙන් ටික වෙලාවක්වත් අනිත් කෙනාව තේරුම් ගන්න වැය කරන්නේ නෑ.එයාගෙ ලයිෆ් ස්ටයිල් එක ගැන කිසිම තේරුමක් නැතුව කසාද බැඳලා එකට ජීවත්වෙන්න යනවා.ඊටපස්සෙ ප්‍රශ්න.”

දර්ශා අන්තිමට ඒ ගැන කියන්න හිතුවා.එරන්දි ඇය දිහා බැලුවේ මුහුණ නරක් කරගෙන.

“ඔයා පවන් ගැන හිතන් හිටියේ ඔයාගේ ආදරෙන් එයාව වෙනස් කරන්නද?”

එහෙමත් නෑ! මොකද එහෙම පේන්න තරම් වරදක් පවන්ගෙ තිබුණයැ.පවන්ට වෙන සම්බන්ධතා නෑ,දියුණු වෙන්න වගේම ඉතිරි කරන්නත් පවන්ගේ අකමැත්තක් නෑ.

“මං තාත්තා කෙනෙක් වෙන්න කැමති නෑ.මං ඒකට ලෑස්ති නෑ.”

පවන් ආයේම වතාවක් එහෙම කිව්වේ එරන්දිට නෙවෙයි.අමල්ට.පවන් එහෙම කියන්නේ මොකක් හරි අසනීපයක් නිසා වෙන්න ඇති කියලා දැන් එරන්දි හැමතැනකම කියලා ඉවරයි.ඒත් අසනීපකම් සහ ආශාවන් කියන්නේ අහසට පොලොව වගේ දෙයක් කියල එරන්දි තේරුම් ගත්තේ නෑ.

“ආදරේ කරන කාලෙදි කතා කරන්නම ඕන දේවල් කතා නොකරම ඔහොම වෙනවා පවන්.අඩුම තරමේ ජීවත් වෙන රට මොකක්ද,රස්සාව දිගටම කරනවද,ගන්න වාහනේ මොකක්ද කියලවත් කතා නොකර කසාද බඳින මිනිස්සු කොච්චර ඉන්නවද? ඊටපස්සෙ බැඳපු දා ඉඳලා රණ්ඩු.දැන් උඹලට වුණත් වෙලා තියෙන්නේ ඒක.”

ජීවන රටා අවබෝධ කර නොගෙන,ආශාවන් ගැන එකඟතාවයක් ඇති නොකර විවාහ වීම තරම් වරදක් තව නැති නව දැන් පවන්ට හිතෙනවා.

ඒත් දැන් ඇත්තටම පරක්කු වැඩි බවත් පවන්ට ඒ එක්කම හිතෙනවා.

More Stories

Don't Miss



Latest Articles