ලෙඩ රැසකට සුවදෙන කරවිල

ඖෂධීය ගුණයෙන් යුතු කරවිල තරමක්‌ තිත්ත එළවළුවක්. නමුත් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත් ඉදිමීම, හන්දිපත් රුදාව ආදී රෝග රැසකට ගුණදායක බව ඔබ දැන සිටයාද?

කරවිලවල ප‍්‍රභේද කිහිපයක් දකින්නට ලැබෙනවා. බටු කරවිල සහ සාමාන්‍ය කරවිල වශයෙන් වර්ග දෙකකි. බටු කරවිල වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශවල වැටවල්වල නිරන්තරයෙන්ම හටගන්නා අතර එහි ගෙඩි කුඩාය. අප නිතරම ආහාරයට ගන්නා සාමාන්‍ය කරවිල තද කොළ පාට සහ කහ පැහැයට හුරු එළවළුවක්.

දියවැඩියාවට දිව ඔසුවක්‌වන් කරවිල ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන එළවළුවකි. එසේම වසර පුරාම මෙහි අස්‌වැන්න ලබාගත හැක. පෑරුණු තුවාල වේ නම් ඒවායෙහි මස් වැඞීම සිදු කරවයි. පිත්තය සහ ඉදිමුම් සමනය කර දමයි. ලේ පිරිසුදු කර සෙම් රෝග සමනය කර දමා බඩගින්න වඩවයි. පණු ආසාදන වලටත් , වේදනාවන් කැක්කුම් සමනය කොට ශාරීරික දාහයද නැති කර දැමීම සදහාත් කරවිල මහඟු ඖෂධයකි. අර්ශස් රෝගීන් සඳහා කරවිල යුෂ අමුවෙන් පානය සඳහාත් යම්තමට පිස ව්‍යංජනයක් ලෙසත් ලබා දිය හැක.

තුඹ කරවිල ප්‍රභේද ද දැක ගත හැක.තුඹ කරවිල යනු, මල් පිපී කුඩා පල හට ගන්නා එළවළුවක් වන අතර අත්හැර දැමූ හේන් හෝ වනාන්තර තීරුවලින් කූඩා ගණනින් තුඹ කරවිල කඩා වෙළෙඳ පොළට ගෙන එයි. මේ කරවිල තද කොළ පාට වන අතර ගෙඩි කුඩයි. මදක් තිත්ත රස ඇති නමුත් ඉතා ගුණදායක ය. ඉදුණු ගෙඩි කහ පාට වී, පුපුරයි. ඇතුළත ඇට කළු පාට ය. තුඹ කරවිලවල මිල තරමක් අධික යි. විශේෂයෙන්ම විෂ නාශක ඖෂධයක් වන තුඹ කරවිල ආහාරයට ගත්විට, තුන්දොස් සමනයවේ. මල් තුඹ යනු, මල් පමණක් හට ගන්නා, ගෙඩි පල ගන්නේ නැති තුඹ කරවිල විශේෂයකි. මෙහි වැල් ඇදුන ද ගෙඩි හට නොගනී.

කරියට පිසුවත්, තෙළට සිඳුවා ගත්තත්, සලාදයකට ගත්තත් කරවිල රසයෙන් පමණක් නොව ගුණයෙන් ද ඉතාමත් උසස්. අමු කරවිල සියුම්ව ලියා ලුණු වතුරෙන් කවලම් කර අමු මිරිස්‌, ලුණු සහ දෙහි මිශ්‍ර කර ඉතා රසවත් මෙන්ම ගුණයෙන් යුතු ව්‍යංජනයක්‌ ද සාදාගත හැක. එසේම කරවිල දලු ආහාරයට ගන්නත් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles