ගවුම් මෝස්තර.

හදිසියෙන් වගේ ගන්න තීරණ හැම මොහොතකම නිවැරදි නොවන වග නොදන්න කෙනෙක් නෙවෙයි මම. හදිසි තීරණ ගන්න මම තරම් හපන් එකෙක් කොහෙවත්ම නැති වෙන්නත් පුළුවන් කියලා මට කියා දුන්නෙත් නුඹ. හැමතැනකම ඉන්න නුඹ මගේ තීරණවලට බලපෑම් නොකර ඉන්නේ කොහොමද?

” ඔයාගේ ඔය පොත් අස්සේ ඉන්න කොල්ලන්ට මාව සමාන නොකර ඉන්නවද..” 

ඒ චෝදනාව මම නුඹට හැමදාම කියපු වචන පේළිය. පොතක් අස්සේ ඉන්න එක කරන්න බැරි නිසාමද මට නුඹ මඟ හැරුණේ.. ඔව් මම තවම හිතනවා. 

මේ නියෝන් එළි , විශාල දර්පණ තල මැද්දේ නුඹ!! අහඹු හමුවීමක් තමයි. ඒත් නුඹ මෙතන ඉන්නවා කියලා දැන දැන මෙතනට ආවා කියලා හැඟීමක් එන්නේ ඇයි? මම දන්නේ නෑ.ඒත් මේ අහම්බයක්.අපේ ජීවිතේ හැමදේම සිදුවුණු විදියටම මේ අහම්බයක්. මම හිතන්නම කැමති එහෙම. ඒත් ඒ අහම්බයට හරි අපි ආයේ මුණ ගස්වන්න පුලුවන් වීම කොච්චර නම් දෙයක්ද?

“සුදු කොල්ලෙක්ට ඔය පාට ටී ශර්ට් එකක් මැච් වෙන්නේ නෑ ළමයෝ” 

ටී ශර්ට් එකක් පෙරළා පෙරළා හිනා වෙන නුඹට කියන්න මට හිතෙනවා. ඔහු ගැන මතක් වෙන මොහොතකත් නුඹේ මුහුණේ හිනාවක් ඇඳෙන එක ගැන ඔහුටත් වඩා සතුටු වෙන්නේ මම. නුඹට නොකියපු ගොඩක් දේ අතරට ඒ කතන්දරෙත් එකතු කරන්න මට පුළුවන්. හැබැයි සුදු කොල්ලෙක්ට ඇඳුම් තෝරනකොට කළු කොල්ලෙකුට ගැළපෙන ඇඳුම් තේරීම නොකර ඉන්න තවම අමතකද කියලා අහන්න මට හයියක් නෑ. ඔව් තාමත් නෑ.

ගවුම් මෝස්තර ළඟ නතර වුණාට තවම අත නොයන මෝස්තරේ.

ඒත් ඒ මෝස්තරේ ළඟ නතර නොවී ඔය තරම් ආසාවෙන් පොඩි උන්ගේ ගවුම් පොඩි අතගාන එකේ තේරුම අහන්න තරමට ආවේගයක් මාව වෙළා ගන්නවා.” එක අතකට ඕවා මට මොකටද..” උඩු හිත එහෙම අහනවා.ඒත්  ඔය රෝස පාට හීනේ නුඹ ගාවට එනවනම් සමහරවිට නුඹ ඕනෙවටත් වඩා හැඩට හිනා වෙයි.

“හැබැයි ඉතින් ළමයෝ… ඔය ළමයා තාමත් බේත් බොන්න අප්පිරියා කරනවනං, ඉන්ජෙක්ශන් දකිද්දී හූ තියනවනම් ඕක ලේසි නෑ තමයි”

බෙහෙත් බොන්න අකමැති මගේ ඉවසීමේ සීමා ඉරි පරීක්ෂා කරලා බලන ගැහැනු දරුවා ඇත්තටම මට අමතක නෑ. උසාවිය අපිව දෙපැත්තට කරන මොහොතේ පවා නුඹ හැම දෙයක්ම දරා ගනිද්දී එන්නත් කටුවටත් බය වෙලා මොර දුන්නු ගැහැනු දරුවා මට මතක් වුණේ ඒක වෙන්නැති.

සැලැස්මක් ක්‍රියාත්මක වෙන වෙලාවට කාලය ඇවිල්ලා. අවුරුදු ගාණක් නුඹ සම්බන්ධ සැලසුම් ක්‍රියාත්මක කරන්න මට බැරි වුණා. ඒත් මේ සැලසුම සාර්ථකයි.

“එක්ස්කියුස් මී මැඩම්, මේ පාර්සල් එක ඔයාට අමතක වෙලා” 

ආරක්ෂක නිලධාරියා මගේ ගැටේට සම්පූර්ණෙන් අහුවෙලා වාහන අංගනයෙදි නුඹට කියන්නේ ඒ දේ. මං දන්නවා.පුදුමයෙන් ලොකු වුණු ඇස් ශර්ලොක් හෝම්ස් වෙන්න කලින් මම යනවා. මගේ හොර වැඩ මිනිත්තු කිහිපයකින් අල්ලා ගත්තු තරහ පිරුණු ඇස්වලට අයිතියක් දැන් මට කොහෙන්ද?

“හිමින් ඩ්‍රයිව් කරන්න දන්නෙම නැද්ද?”  එහෙම බනින්න මාව නොදැකීම ලොකු දෙයක්. නැත්නම් මේ තරම් වේගයෙන් රිය ධාවනය කිරීම ගැන මට කොච්චර නම් බැනුම් අහන්න සිද්ධ වෙයිද?

අමතක වුණා..

“ආ.. ඔය ගවුම,ඕක දැන්මම ඇන්දම කැතයි” 

ඉක්මනට ඕක අඳින්න ලැබේවී. එතකොට එයාගේ තාත්තාට මිසක උසාවියේදී අත් අත හැරුණු මට ඇඳුම් තෝරන්න ඔයාට අමතක වේවි!! 

More Stories

Don't Miss


Latest Articles