නිවසට සිරිය ගෙනෙන දෙළුම් පැළයක් වවමු

අතීතයේ සිටම වටිනා පලතුරක් මෙන්ම ඖෂධීය ශාකයක් ලෙස සැලකෙන දෙළුම් ගෙවත්තේ තිබිය යුතුම වගාවක්. ගසේ හුරුබුහුටි බව හා වසරේ වැඩි කාලයක් මල් හටගැනීමේ හැකියාව නිසා විසිතුරු ශාකයක් ලෙසද දෙළුම් වගා කල හැක.

දැනට ලංකාවේ බහුලව වගා කරන්නේ දේශීය දෙළුම් ප්‍රභේදවන අතර, ඵලවල බීජ තද ස්වභාවයකින් යුක්තවීම, යුෂ ප්‍රමාණය අඩුවීම නිසා පාරිභෝගික ඉල්ලුම අඩුය. නමුත් ගුණයෙන් ඉතාමත් පොහොසත්.

දෙළුම් වගාවට හොඳින් හිරුඑළිය අවශ්‍යවේ. වායුගෝලයේ ආර්ද්‍රතාවය වැඩි විටදී හා වර්ෂා කාලයේදී දෙළුම් ශාකයට රෝග වැලදීමේ හැකියාව වැඩිවේ. දෙළුම් ශාකය විවිධ පස් වර්ග වල වගා කළ හැකි වුවද මැටි ලෝම පස වගාවට වඩා උචිතය. හොඳින් දිරාපත් වූ කාබනික පො‍හොර සහ නිර්දේශිත පරිදි රසායනික පොහොර යෙදීම සාර්ථක අස්වැන්නක් ලබාගත හැක.

මව් ගස්වලින් තෝරාගත් මේරූ ගෙඩිවල බීජ තවාන් කිරීමෙන් බීජ පැළ නිපදවාගත හැකි අතර මෘදු බීජ සහිත වර්ගවල බීජ සතියකින් පමණ පැළවේ. බීජ පැළ සුදුසු තත්ත්වයට පත්වූ විට බඳුන් කර මාස 4 – 5 පමණ නඩත්තු කිරීමෙන් සිටුවීමට යෝග්‍ය තත්තවයට පත්වේ. මව් ශාකයේ ලක්ෂණ ඒ ලෙසම පවතින පැළ නිපදවා ගැනීම, මව් ශාකයේ දඬු කැබලි මුල් අද්දවා ගැනීමෙන් කළ හැකිය.

දෙළුම් ගසට හානි කරන පලිබෝධකයකු වන දෙළුම් සමනලයාගෙන් වගාව රැක ගත යුතුය. දෙළුම් සමනලයා විසින් ගෙඩි හා මල් මත බිත්තර දමන අතර, පිටවන කීටයා ගෙඩිය තුළට ඇතුලුවී එය විනාශ කරයි. ‍ගෙඩිය පිට පැත්තේ සිදුරුකර තිබීමෙන් හානිවූ ගෙඩි පහසුවෙන් හඳුනාගත හැක.

දෙළුම් ගෙඩි නෙලා ගැනීමෙන් පසුව තවදුරටත් ඉදීම සිදුනොවනපනිසා නෙලීමට සුදුසු අවස්ථාවේ ඇති ගෙඩි පමණක් තෝරා ගැනීම වැදගත්. දෙළුම් ගෙඩි නෙලාගත යුත්තේ පිහියකින් නටුව කපා ගැනීමෙනී.

ගසේ සෑම කොටසකම පාහේ ඖෂධීය ගුණයෙන් පූර්ණ සුන්දර මල් ඵලවලින් පිරි දෙළුම් පැළයක් නිවසට සිරියක්ම නොවේද?

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles