දැනගෙන පිටි කන්න

අපේ රටේ ප්‍රධාන ආහාරය බත් වුණත්,  දැන් දැන් හුඟක් දෙනා තුන් වේලට ම බත් කන්නෙ නැහැ. උදෑසනට හෝ රාත්‍රියට හෝ අඩුතරමින් එක වේලක් හෝ පිටිවලින් පිළියෙල කරන ආහාරයක් ගන්නට බොහෝ දෙනෙක් පුරුදු වී සිටිනවා. බොහෝ දෙනා රාත්‍රී ආහාරය ලෙස පිටිවලින් සැකසූ ආහාර ගන්නට වැඩි කැමැත්තක් දක්වනවා. මෙය ශරීරයට කොයිතරම් හිතකර ද? පිටි සහිත ආහාර ගැනීමේ දී ඔබ ඇත්තට ම දැනගත යුතු දේ මොනවාද? අද ඔබට කියන්නට යන්නේ ඒ ගැනයි.

ලැබෙන පෝෂණය ගැන හිතන්න

පිටි වර්ග ආහාරයට ගන්නා විට වාත් සැලකිලිමත් වෙන්න ඕනේ එයින් ලැබෙන පෝෂණය ගැනයි. පිටි සහිත ආහාරවල කාබෝහයිඩ්රේට් අඩංගු වෙනවා.  කාබෝහයිඩ්රේට් කියන්නේ ශක්තිජනක පෝෂණ සංඝටකයක්. නමුත් කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර වැඩිපුර ගැනීම ශක්ති අතිරික්තයක් ඇතිවන්නටත් එමඟින් සථුලතාව ඇතිවන්නටත් හේතු විය හැකියි. මේ නිසා එවැනි ආහාර ගැනිමේ දී අඩංගු කාබෝහයිඩ්රේට් ප්‍රමාණය මෙන් ම කෑමට ගන්නා ප්‍රමාණය ගැනත් සැලකිලිමත් වීම ඉතා වැදගත්.

කුරුට්ට හෝ නිවුඩ්ඩ ඉවත් නොකර සකස් කරගන්නා පිටි ආහාරයට වඩාත්   සුදුසුයි. එවැනි ආහාර ස්වභාවිකව ම පහසුවෙන් ජීරණය වන නිසාත් එහි දී හෝර්මෝන හා එන්සයිම ක්‍රියාකාරීත්වය මැනවින් සිදුවන නිසාත් රුධිරයට එකවර සීනි එක්වීමක් එහිදී සිදුවන්නේ නැහැ.

ධාන්‍ය හා මාංශ භෝග පිටිවල වෙනස හඳුනාගන්න.

ධාන්‍ය හා මාංශභෝගවලින් ලැබෙන පිටි වර්ග විවිධයි. සහල්, තිරිඟු, ඉරිඟු,කුරක්කන්, මෙනේරි, ඕට්ස්, බාර්ලි ආදිය අයත්වන්නේ ධාන්‍ය ගණයටයි. ඒවායින් ලැබෙන පිෂ්ටය අධිකයි. කවුපි, කඩල, සෝයා ආදිය මාංශ භෝග ගණයට අයත් වන අතර, මෙහි විශේෂත්වය වන්නේ ඒවායෙ ප්‍රෝටීන් බහුල වීඹයි. ඒ වගේම ධාන්‍ය සහ මාංශ භෝගවලින් ලැබෙන ඇමයිනෝ අම්ල එකිනෙකට වෙනස්.

වයසට අනුව කැලරි අවශ්‍යතා වෙනස්වන බව අවබෝධ කරගන්න

කාන්තාවකට දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාන්‍ය කැලරි 1900-2000 අතර වනවා. පිරිමි අයෙකුට කැලරි 2400ට වඩා වැඩියෙන් අවශ්‍ය වනවා. කිරි බොන දරුවෙකුට, පාසල් දරුවෙකුට, යොවුන් පිරිමි දරුවෙකුට, යොවුන් ගැහැනු දරුවෙකුට ආදී වශයෙන් එක් එක් වයස් කාණ්ඩවල අයට අවශ්‍ය කැලරි ප්‍රමාණය වෙන්ව හඳුනාගත යුතුයි.

පිරිපහදු කළ පිටි නිතර ආහාරයට ගැනීමෙන් වළකින්න

පිරිපහදු කළ පිටි ආහාරවලින් ශරීරයට ලැබිය යුතු තන්තු ප්‍රමාණය නිසි පරිදි නොලැබී යාම නිසා ජීර්ණ පද්ධතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමට ද ඉඩ තිබේ. මේ නිසා මළපහ කිරීමේ අපහසුව, තරබාරුව හෙවත් ස්ථුලතාව ඇතිවීමෙන් රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග තත්වයන් පවා ඇතිවිය හැකියි.

විවිධ පිටි වර්ග සහ ඒවායේ ගුණ අගුණ දැනගෙන පරිභෝජනය කරන්න

ඉරිඟු පිටි ශරීරයට ශක්තිය ඇතිකරයි. සෙම් සහ පිත් තත්වයන් අඩු කරයි. කොල්ලු පිටි කැස්ස, පීනස, බඩ පපුව දැවිල්ල මුත්‍රා දැවිල්ල ඇති අයට ඉතා හිතකරයි. මුත්‍රා ගල් ඇති අයට කොල්ලු තම්බාගත් වතුර ද ඉතා හිතකර බව වෛද්‍ය මතයයි.

ගැබිනියන්ට සහ ඉතා කෙට්ටු සිරුරු ඇති අයට කොල්ලු පිටි එතරම් හිතකර නොවන බව ද වෛද්‍යවරුන් සඳහන් කරනවා. උඳු පිටි මල බද්ධය නැතිකිරීමට උපකාරී වෙයි. ශුක්‍ර වර්ධනය කරයි. මව්කිරි නිපදවීම වැඩිකරයි. මුත්‍රාශයට මුත්‍රා පිරීම වැඩිකරන අතර පිටවීම වැඩිකිරීමේ බලයක් ද උඳු පිටිවල පවතියි.

කුරක්කන් පිටි රත් පිත් රෝග ලෙස වෙදැදුරන් හඳුන්වන (එනම් නාසයෙන්, ගුද මගින් හෝ යෝනි මගින්, මුත්‍ර මගින් හිටිහැටියේ රුධිර වහනයන් වන රෝගී තත්වයන්) කිසිසේත් හිතකර නැති බවත්, ඉස්ම ගලන කුෂ්ඨ රෝග, පීනස සහ ඇදුම ඇති අයට හොඳ ආහාරයක් ලෙස ද හඳුන්වයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන ආකාරයට සහල්පිටි සිරුරේ තුන්දොස් නසන, පිපාසය අඩු කරන, ඇඟ නිවන ආහාරයකි. කඩල පිටි ගිතෙල් සමඟ ගන්නා විට වාත පිත් සහ සෙම් රෝග නැසීමේ විශේෂ හැකියාවක් ඇති බවත් එහි ගුණ රැසක් මිස කිසිදු අගුණයක් නැති බවත් වෛද්‍ය මතයයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles