හැමදේටම වඩා සිඟිත්තාගේ සනීපාරක්ෂාව හිතන්න

ළදරුවන් දවසකට බොහෝ වාර ගණනක් මුත්‍රාවලින් තෙමා ගන්නවා. ඒ වගේ ම දවසේ වාර කිහිපයක් මළපහ වීම පවා ඉතා කුඩා දරුවන් තුළ සාමාන්‍ය ස්වභාවයක්. මේ නිසා නිතර නිතර නැපි මාරු කිරීම, සේදීම, වේළීම අම්මා කෙනෙක්ගේ දින චරියාවේ නොකඩවා සිදුකෙරෙන වැඩ අතරට එකතු වෙනවා. ඩයපර්ස් භාවිතය ගැන නිවැරදි අවබෝධය හුඟක් අම්මලාට වැදගත් වෙන්නේ මෙන්න මේ කාර්ය බහුලත්වයට එය විසඳුමක් බවට පත්කරගත හැකි නිසයි.

ලෝකයේ බොහෝ රටවල ඉතා කුඩා බිළිඳුන්ටත් ඩයපර්ස් යොදාගන්නා නමුත් තවමත් අපේ රටේ මෙය හොඳින් ප්‍රචලිත නැහැ. දරුවන්ගේ නැපි මාරුකිරීම් අම්මලාට කෙතෙක් වෙහෙසකර වුවත් ඩයපර්ස් යොදාගැනීම දරුවන්ගේ පැත්තෙන් අහිතකර හෝ අපහසු විය හැකි බව ලංකාවේ බොහෝ දෙනාගේ මතය වී තිබෙනවා. ‍බොහෝ දියුණු රටවල දරුවන්ට ඩයපර්ස් අන්දවන්නේ ඊට අදාළ ආරක්ෂණ ක්‍රීම් වර්ග දරුවාගේ සමෙහි ආලේප කිරීමෙන් අනතුරුවයි. ඒ නිසා දරුවාගේ සම මත බිබිලි ඒමක්, තුවාල වීමක් හෝ වෙනත් අහිතකර තත්වයක් ඇතිවන්නේ නැහැ. අපේ රටේ එවැනි පූර්ව සූදානමක් නොමැතිව මේ කටයුත්ත සිදුකිරීම නිසා ඇතැම් අවස්ථාවල දී දරුවන්ට සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට ඉඩ තිබෙනවා. මේ නිසා දරුවා ගමන් බිමන් රැගෙන යාමේ දී පමණක් ඩයපර්ස් ඇන්දවීමට ලංකාවේ බොහෝ මව්වරුන් හුරුව සිටිනවා.

බිළිදාගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ඩයපර්ස් තෝරා ගැනීමේ දී දරුවාගේ සනීපාරක්ෂාව ගැන දෙවරක් නොව තුන්වරක් හිතන්න. බිළිදා වෙනුවෙන් හොඳ ඩයපරයක් තෝරා ගන්න නම් සලකා බලන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා.

සුවපහසුව

සුවපහසුව ඒ අතර අතිශයින් ම වැදගත්. ඩයපර්ස් භාවිතා කරන එක බිළිදාට සනීපදායි වෙන්න නම් ඩයපර් එකක ඇතුළත පෘෂ්ඨය රෙදි නැපියක් තරම්ම සුවපහසු සුමුදු බවින් සමන්විත විය යුතුයි. එහෙම නැති වුණොත් බිළිඳා නිතර අඬන්නටත්, නින්දට බාධා වෙන්නටත් පුඑවන්. ඒ වගේම බිළිඳාගේ සුමුදු සමට හානි වෙන්නත් පුඑවන්.

උරාගැනීමේ හැකියාව

හොද ඩයපරයකට ඉක්මනින් හා හොඳින් තෙතමනය උරා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. බිළිදාව සුවෙන් තියන්න පුඑවන් තෙතමනය හොඳින් උරා ගැනීමේ හැකියාවක් තිබෙන ඩයපරයකට පමණයි.

පිටතට කාන්දු නොවීම

ඩයපරයක ඇතුළත සුමුදු බව වගේම පිටත පෘෂ්ධයේ කාන්දු වීම නැති වීමත් හොඳ ඩයපරයක ලක්ෂණයක්. ඩයපරයක පිටත සුලු වශයෙන් හෝ කාන්දු වීම සිදුවෙනවා නම් ඒක බිළිඳාගේ සනීපාරක්ෂාවට ගැටඑවක්. මොකද මේ පොඩි කාන්දු වීමක් පවා බිළිදාගේ සුමුදු සමට හානිකර වෙන්න පුළුවන්.

හොඳින් වාතාශ්‍රය ගමන් කිරීම

ඒ වගේම හොද ඩයපරයක් තෝරා ගැනීමේ දී වාතාශ්‍රය හොදින් ගමන් ගන්නා ආකාරයට නිපදවා ඇත්දැයි බැලිය යුතුයි. හොදින් වාතාශ්‍රය නොගැලුවහොත් දහදිය වැනි දේ නිසා බිළිදු සමේ අසාත්මිකතා ඇතිවෙන්න පුළුවන්. මේ නිසා ඩයපරයක් තෝරා ගැනීමේ දී මෙවැනි කාරණා ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් හොද ඩයපර වර්ග සමේ ආසාදන හෝ අසාත්මිකතා ඇති නොවන බවට සායනිකව සනාථ කර තිබෙනවා.හොඳ ඩයපරයක් නම්‍යශීලි බවින් යුක්ත වෙනවා වගේම බිළිඳාට කිසිම අපහසුවක් නොදැනෙන තුනී හුරුබුහුටි හැඩයකින් යුක්ත වෙනවා.  එක් එක් ප්‍රමාණවලින් වෙළඳපොළේ ඇති ඩයපර්ස් අතරින් ඔබේ බිළිඳාගේ ශරිර බරට ගැළපෙන ප්‍රමාණයේ ඩයපර  වෙළඳපොළෙන් මිළ දී ගැනීමත් ඉතා වැදගත්.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles