බබා එක්ක දුර ගමනක් යනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් ගෙනියන්න

පුංචි බබා එක්ක එළියට යනවා කියන්නේ පුංචි යුද්ධයක්. එනිසා ඔබේ බිළිඳා දුර ගමනක් ගෙනයනවා නම් ඔබ අනිවාර්යයෙන්ම මෙන්න මේ දේවල්  ගෙනියන්න මතක තබා ගන්න.

මුළු ගමන පුරාවටම බබාව සතුටින් හා සුවයෙන් තබා ගැනීම අවශ්‍යයි. බබා වැඩිපුරම ඔබට කරදර කරනුයේ බඩගිනි නම්ය. මව් කිරි පමණක් ලබා දෙන බබෙකුට ගමන අතර තුරදී සෘජුව මව් කිරි  දීම අපහසු නම්  මව් කිරි  කලින් දොවා ඒ සඳහා යොදා ගැනෙනා ප්ලාස්කුවක රැගෙන යා හැක. පිටිකිරි පානය කරන බිලිඳෙකු හට නම් කලින් පිළියෙල කළ කිරි  ප්ලාස්කුවක ගෙන යමින් අවශ්‍ය වේලාවේදී උණුවතුර භාජනයක බහා රත්කර දිය හැකිය.  පිටිකිරි ප්‍රමාණය මැන භාජනවල දමා ගෙන ගොස් අතර මඟදී අවශ්‍ය උතුරවා ගත් ජලය දමා පිටිකිරි සකස් කර ගැනීමටත් පුළුවන්.

ඝන ආහාර ලබන බබෙක් නම් බබා කන්න කැමති පහසුවෙන් දිරවන ආහාර, පලතුරු යුෂ ආදිය බබා කන්න කැමති ප්‍රමාණයට ලබාදීම සුදුසුය. එම ආහාර ගෙදරදීම සකස් කර රැගෙන යාමට අමතක නොකරන්න. උතුරුවා නිවාගත් ජලය රැගෙන යාමෙන් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම බබාව සේදීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහාද භාවිතා කිරීමට හැකියි. අතරමඟදී දරුවාට කෑම බීම මිලදී ගෙන දීමට උනන්දු නොවිය යුත්තේ ඒවා දරුවාට රෝග ගෙන එන විෂබීජවලින් දුෂිතව තිබිය හැකි නිසයි.

බබා සඳහා රැගෙන යා යුත්තේ පහසුවෙන් ඇන්දවිය හැකි ඇඳුම්ය. එසේම දරුවා සඳහා තොප්පියක්, මේස් යුවලක් හා උඩුකය වැස්මක්, “ප්ලාස්ටික්” ඇතිරිල්ලක් හා සීතල වූ විටෙක දරුවා ඔතා ගන්නට ඝන තුවායක් ද රැගෙන යන්නට අමතක නොකළ යුතුය. භාවිතයෙන් පසු ඉවතලිය හැකි “ඩයපර්ස්” බබාට ඇන්දවාගෙන යාමෙන් බොහෝ අපහසුතාවන් මගහරවා ගත හැකි අතර වරින් වර මාරු කල යුතුය. ළදරු වැසිකිලි අසුනක්/පොටියක් රැගෙන යාම, සිය කටයුතු කිරීමේදී දරුවාටද පහසුවක් වනු ඇත.

බබා කැමතිම සෙල්ලම් බඩුවක් කිහිබයක් රැගෙන යාමෙන් බබාව පහසුවෙන් සතුටින් තබා ගත හැක. බබා නළවන සූප්පුවක්, කුඩා කොට්ටයක් හා ෂීට් එකක්ද රැගෙන යා හැකිනම් ඉතා පහසුවක් වේවි. සුප්පුවක් උරමින් ගමන් කරන විට බබාට ඇතිවිය හැකි “ගමන් අසනීපය” “මොෂන් සික්නස්” බලපෑම අඩුවනු ඇත.ගමන් කරන වාහනයේ දී වාදනය කළ හැකි ළදරු හා ළමා ගී නැලවිලි ගී රැගෙන යාමද බබාට සැනසිල්ලක් හිමි කිරීමට උදව් වන පියවරකි.

බබාලා සඳහා ඇති “ළමා රථ අසුනක්” (කාර් සීට්) ඇත්නම් එක රථයේ පිටුපස අසුනට හොඳින් අමුනන්න. කිසිවිටකත් මෙම අසුන රථයේ ඉදිරි අසුනට සවි නොකරන්න. දරුවා එහි ඉන්දවීමෙන් පසුව ආරක්ෂිත පටි යොදා දරුවාගේ ආරක්ෂාව සහතික කරගන්න. බබාව ඉදිරි පස අසුනේ හෝ ඔඩොක්කුවේ තබාගෙන යාමෙන් වැළකිය යුත්තේ අනතුරක දී බබාට වැඩි හානියක් සිදුවිය හැකි හෙයිනි.

ඒ වගේම කුමන හේතුවක් නිසාවත් රිය තුල බබාව තනිකර දමා නොයන්න. මේ අනුව කට යුතු කලහොත් ඔබේ බිළිඳා දුර ගමනක් ගෙනයන්න පහසුවෙන්ම හැකි වේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles