ඔබේ මුහුණ සැබෑ වයසට වඩා වයස පාටද?

වයස යාම කියන්නේ නවත්වන්න පුළුවන් සංසිද්ධියක් නෙවෙයි. වයස ගත වෙද්දී අපේ පෙනුමත් යම් තරමකට වෙනස් වෙනවා. අවුරුදු 25 දි තිබුන පෙනුම හැමදාම තියෙන්නේ නැහැ. කවදාවත් නොදුටු ඇස යට රැලි වැටීමක්, අඳුරු පැහැයක්, එල්ලා වැටීමක් දැක්ක ගමන් ඔබ හදිස්සියේ තේරුම් ගන්නවා මගේ පෙනුම වෙනස් වේගෙන එනවා කියල. 35 දි මතු වෙන්න පටන් ගන්න බොහෝ හානි ඇත්තටම සමට වෙලා තියෙන්නේ විසි ගණන් වල කියලා ඔබ දන්නේ නැහැ. ඔබට කාලය යන එක නවත්වන්න බැහැ. හැබැයි කලට වෙලාවට කලින් මුහුණේ සුන්දරත්වය විනාශ වෙලා යන එක වලක්වා ගන්න නම් අකලට ඔබේ මුහුණේ වයස පෙන්වන්නට හේතු වන නරක පුරුදු වලින් නිදහස් වෙන්න ඕනේ.

අධික ලෙස හිරු එලියට නිරාවරණය වීම

මුහුණේ සම අකලට වයසට යවන ප්‍රධානම කාරනාවක් වෙන්නේ හිරු එලියට නිරාවරණය වීමයි. එළිමහනේ වැඩ කරන කම්කරුවන්ගේ මුහුණු ඉතාම මහලු පෙනුමක් ගන්නේ මේ නිසයි. හම අකලට වයසට යාමට 70% ක් පමණ දායක වෙන්නේ මේ හිරු එලියට අධිකව නිරාවරණය වීමයි. උදේ හිරු එළියෙන් විටමින් D ලැබෙන නමුත් මුහුණේ මෘදු සම ඉර එලියට නිරාවරණය කරන්න ඇවැසි නැහැ. හැම විටම හිරු එළියේ යද්දී තොප්පියක්, කුඩයක් සහ අවු කණ්නාඩි දැමීමට වග බලා ගන්න. අවුවේ යන්න සිද්ධ වෙන අවස්තාවක නම් ඉර එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් වර්ගයක් අලේප කරන්න පුළුවන්. ඒ වගේම විකිරණ ශීලීත්වය වැඩි උදේ 10 සිට හවස 3 දක්වා ඇති හිරු එලියට නම් කොහෙත්ම ලක් වෙන්න එපා. එය ඔබේ මුහුණ ඉතාම ඉක්මනින් වයස්ගත කරාවි.

සීනි සහ පැණිරස ආහාර අධික ලෙස කෑම

ඔබත් අධිකව සීනි රස ආහාර කෑමට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් කියන්න කණගාටුයි මහලු වයස ඔබව හොයාගෙන ඒවි. ඔබේ රුධිරයේ සීනි මට්ටම වැඩි වුනාම glycation කියන ක්‍රියා දාමය සිදු වෙනවා. මෙමගින් ශෛල වල ඇති කොලෑජන් තන්තු විනාශ වෙනවා. මේ විනාශය එක්ක සමේ රැලි ඇති වෙනවා. සමේ ස්වභාවික ඇදීම සහ ශක්තිමත් බව නැති වෙද්දී සම එල්ලෙන්න පටන් ගන්නවා. ඔබ පැනි රසට ඉතාම කැමති නම් සීනි ආහාර අඩු කරලා නැවුම් පළතුරු වලට අදම මාරු වෙන්න.

සමට නියමිත ලෙස සත්කාර නොකිරීම

ඔබ තරුණ අවයසේ සිටම සම නිසි ලෙස පවිත්‍ර කිරීම, පෝෂණය කිරීම සහ වයසට යාම පාලනයට හේතු වෙන විශේෂ සත්කාර නොකෙරුවොත් ඔබේ සම ඉක්මනින් අවලස්සන වෙන එක නවත්වන්න බැහැ. බොහෝ දෙනෙක් මේ සත්කාර පටන් ගන්නේ වයස හඟවන ලකුණු මුහුණට එකතු වුනාට පසුවයි. නමුත් එය ප්‍රමාද වැඩියි. විසි ගණන් වල මුල් භාගයේ සිටම ඔබ පරිස්සමෙන් මතක තියා ගන්න ඕනේ වයස ගත වෙද්දීත් මුහුණේ සුන්දරත්වය ආරක්ෂා කර ගන්න නම් අපි නිසි සත්කාර මුහුණට කළ යුතුයි කියල. ඒ වගේම අද කාලේ පරිසර දූෂණයට නිරාවරණය වෙන හමට අනිවාර්යයෙන්ම වයසට යාම මන්දගාමී කරවන ආකාරයේ රූපලාවන්‍ය සත්කාර තිබෙනවා. ඔබ ඒ ගැන දැනුමත් වෙන්න. වයසට ගිහින් මුහුණේ සම හානි වුනාම නැවත පෙර තිබුන තත්වයට පත් කරන්න බැහැ. ඒ නිසා දැන්ම ඒ සම්බන්ධව උනන්දු වෙන්න ඕනේ.

වැරදි ඉරියවු වලට නිදා ගැනීම

ඔබ විශ්වාස නොකරාවි නමුත් සත්‍යය තමා ඔබ කොට්ටෙට මුහුණ තද කරගෙන නිදියන කොට මුහුණේ කුඩා රැලි ඇති වෙනවා. ඒවා කාලය සමග දැඩි වෙනවා. පැත්තට නිදා ගත්තම කම්මුලේ සහ නිකටේ රැලි ඇති වෙනවා. නිදා ගැනීමට සුදුසුම ඉරියවුව තමයි උඩු අතට නිදා ගැනීම. ඒ වගේම සැටින් කොට්ටයක් හිසේ තබා ගැනීම ඔබට පහසුවක් වෙනවා විතරක් නෙවෙයි සමටත් හිතකරයි.

ප්‍රෝටීන් අඩු ආහාර වේලක් ගැනීම

පටක නිෂ්පාදනයට, සමට ආධාරයක් ලෙස සහ සමේ මෘදු බව රැක ගැනීමට ප්‍රෝටීන් දායක වෙනවා. ප්‍රෝටීන් නැතිව ශරීරයට කොලජන් , elastin fibers, සහ hyaluronic acid නිපදවීමේ හැකියාවක් නැති වෙනවා. මේ සියල්ලම නැවුම් තරුණ සමකට අත්‍යවශ්‍යයි. තරුණකම සහ සම රැක ගැනීමට නම් ප්‍රෝටීන් ඔබේ ආහාරයට එක් කර ගන්න අමතක කරන්න එපා. බිත්තර, මස් සහ ධාන්‍ය වර්ග නිතරම ඔබේ ආහාරයට එක කරන්න. එමගින් අවශ්‍ය ප්‍රෝටීන් ඔබේ සමට ලබා දේවි.

මානසික පීඩනය

මානසික පීඩනය හැම විටම ඔබේ රූපයට අහිතකරයි. හෝර්මෝන නිෂ්පාදනයට බාධා ඇති කරවනවා. ඒ වගේම මානසිකව පීඩනයට පත් වෙලා ඉද්දි ඔබ ස්වාභාවිකවම ආහාර නොගෙන ඉඳීම සහ ඔබව නිසි ලෙස බලා ගැනීම නොකරන්න පෙලඹෙනවා. මේ නිසා මානසික පීඩනයට පත් වෙන කෙනාගේ මුහුනේ සුන්දරත්වය වයසට කලින් මහලු පෙනුමක් ගෙන එනවා.

නිසි ලෙස නින්ද නොලැබීම

ඔබේ ශරීරය විවේක ගන්නේ නින්දේදී. සම අලුත්වැඩියා කිරීම සහ අලුත් සෛල නිපවීම නින්දේදී සිදු වෙනවා. ඔබ ගැඹුරු නින්දේ ඉද්දි පිටියුටරි ග්‍රන්තිය වර්ධක හෝර්මෝන නිපදවීම සිදු කරනවා. ඔබ දිනපතාම වගේ නින්ද පමා කරලා නිසි ලෙස නින්දක් නොලබනවා නම් සම විනාශ වීම අකලට මහලු වීම වලක්වන්න බැහැ. ඔබේ කාලසටහන කොහොම හරි හදාගෙන පැය 6 ත් 8 ත් අතර නින්දක් ලැබීම ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි. ඒ වගේම අකලට වියපත් වෙන්න අවශ්‍ය නැත්නම් සුව නින්දක් ලැබීම අනිවාර්යය වෙනවා. ඔබට නින්ද යාමේ ප්‍රශ්නයක් ඇත්නම් TV, පරිඝනක සහ ෆෝන් වගේ ඩිජිටල් තිර සේරම ඉවත් කරලා නිදන්න උත්සහ කරන්න.

මුහුණේ මස් පිඬු අධිකව චලනය කිරීම

කතා කිරීමේදී ඔබත් පමණට වඩා මුහුණේ මස් පිඬු සොලවනවා නම් අභිනයන් පානවා නම් ඔබේ මුහුණේ සියුම් රැලි ඇති වෙන්න බලනවා. ඒ රැලි කාලය සමග ගැඹුරු තද රැලි බවට පත් වෙනවා. කණ්නාඩිය ඉදිරියට ගිහින් සියුම් ලෙස ඔබේ මුහුණ පරීක්ෂාවට ලක් කරන්න. ඉන් පස්සේ ඔබත් මුහුණේ ඇතැම් මාංශ පේශී අධිකව භාවිතා කරනවා නම් හිතලම ඒ පුරුද්ද මගහරින්න. කුඩා කළ පුරුදු වුන චර්යාවක් වුනත් හිතලා මගහරින්න ඔබට හැකියි.

Related Articles

Don't Miss


Latest Articles