ගෙයි ගිනි පිටට එපා – පිට ගිනි ගෙටත් එපා

0
2159

කාන්තාවක් හැටියට ඔබ දැනටමත් මේ ඔවදන ගැන දැනුවත් ඇති. සමහරවිට කියමන අහල තිබුණට ඊට වඩා මේ ගැන ඔබේ අවධානය යොමු වුණේ නැතිවෙන්නත් පුළුවනි. මේක බෞද්ධ ඉතිහාසයෙන් අපට හමුවෙන අවවාදයක්. බුදුන් වහන්සේගේ කාලයේ විශාකා කියන සිටු දියණිය විවාහ ජීවිතයට පිවිසෙන විට ඇගේ පියා  විසින් ලබාදුන් අවවාදවලින් එක් අවවාදයක් තමයි මේ.

යුග දිවිය සමඟ අලුත් නිවසක අලුත් නෑදෑයින් සමග අලුතින් ජීවිතය අරඹන කාන්තාවන්  මේ ඔවදන හොඳින් අවබෝධ කරගැනීම ඉතා වැදගත්. ගෙදර ඇතුළේ ප්‍රශ්න පිටතට ගෙන ඒමත් ගෙයින් පිටත ප්‍රශ්න ගෙතුළට ගෙනැවිත් පවුලේ ප්‍රශ්න බවට පත්කරගැනීමත් කාන්තාවක් විසින් කිසිසේත් ම නොකළ යුතු බව තමයි මේ අවවාදයෙන් කියැවෙන්නේ.

New Bride විශේෂාංගය සමග එක්වන ඔබට අපි අද ඉදිරිපත් කරන්නේ මේ ඔවදන හරියාකාරාව අවබෝධ කර ගැනීමෙන් ඇති වන තත්ත්වයන් ගැන ඔබට වැදගත් වන කරුණු කිහිපයක්.

 එයා මගෙ වැරදි පිට අයට කියනවා

එයා හැමදාම මගේ වැරදි පිට අය එක්ක කියනවා. මගේ අම්මට පිට අය එක්ක හරියට දොස් කියනවා. දරුවො ගැන වුණත් එයා හැමෝම එක්ක කියන්නේ එයාලගෙ මුරණ්ඩුකම් ගැන. මේවා අපට ගේ ඇතුළෙ කතාකරල ඉවර කරගන්න පුළුවන් දේවල් නේ. එක් ස්වාමිපුරුෂයෙක් එයාගෙ බිරිඳ ගැන කිව්වේ ඒ විදියට.

අනුන්ගෙ අඩුපාඩු කියන්න එයාට දවසම  මදි

මගේ වයිෆ්ට ගෙදර ප්‍රශ්න කතාකරන්න වෙලාවක් නැහැ. ගෙදර ඉන්න හැම වෙලාවෙම එයාගෙ වැඩේ එයාගෙ යාලුවන්ගෙ පවුල් ජීවිත ගැනයි, සමහර අයගෙ අනියම් සම්බන්ධතා ගැනයි විවේචනය කරන එක. කතාකරන්න දෙයක් නැත්නම් එයා අල්ලපු ගෙදර ඇන්ටි ඇඳපු සාරියක අඩුපාඩුවක් හරි කියවනවා. අපේ ජීවිත ගැන, දරුවන්ගේ
ජීවිත ගැන කතාකරන්න තියෙන වෙලාව තමයි එයා නිකරු‍ණේ ඒ විදියට නාස්ති කරල දාන්නේ. තවත් ස්වාමි පුරුෂයෙක් එයාගෙ බිරිඳ ගැන කතා කළේ ඒ විදියට.

අපි කතාකරන්නෙ අපි ගැන

අපට අනුන් ගැන කතාකරන්න වෙලාවක් නැහැ. ඒකෙ තේරුම අපි කිසිම කෙනෙක් ගැන හොයල බලන්නෙ නැතිව ආත්මාර්ථකාමී විදියට ජීවත් වෙනවා කියන එක නෙමෙයි. අපට ගොඩක් යාලුවො ඉන්නවා. නෑදෑයොත් ඉන්නවා. ඒ අයගෙ සමහර අඩුපාඩු අපි දැකලා තියෙනවා. අපෙත් ඕනතරම් වැරදි ඇති නේ. ඉතින් අපි ඒ නිසා කවුරුවත් විවේචනය කරන්නෙ නැහැ. කාගෙවත් වැරදි කාටවත් වැඩක් නැහැ. අපේ ගෙදර තොරතුරු අපේ ගෙදර ඇතිවන පුංචි පුංචි මත ගැටුම් අපි ගෙදරින් පිටට ගෙනියන්නෙ නැහැ. ඒ වගේම අනුන්ගේ ප්‍රශ්න ඔලුවට දාගෙන අනවශ්‍ය විදියට හිත කරදර කරගන්නත් අපි දෙන්නම කැමති නැහැ. ඉතාම සතුටින් පවුල් ජීවිතය ගතකරන යුවළක් ඔවුන්ගෙ අදහස් පළ කළේ ඒ විදියට.

ඉතින් ඔබට පැහැදිලි ඇති, සතුට ඉතිරිවෙන්නේ කොතැනක ද කියලා. ස්වාමිපුරුෂයාටවත් නෑදැයින්ටවත් කොටින්ම ඔබේ දරුවන්වටවත් ඔබ ගැන අයහපත් විදියට හිතන්න ඉඩ තියන්න එපා. ඇතුළත ගිනි ඇතුළෙදිම නිවා දමන්න. පිටත ගිනි පිටත පිටතින් දැල්වෙන්න හරින්න. ඔබට සියල්ල භාරගන්නට බැහැ. පිටත ගිනි ගෙදරට ගෙනැවිත් ගෙදර ගිනි ගත්තොත් ඒ ගිනි නිවන්න කාටවත් උදව් කරන්න බැරිවේවි.

-නිරංජලා-