දෙවැනි මනාලයන් මනාලියන් මේ විදිහට තෝරා ගනිමු

0
1373

මංගල දිනයේ තාරකාවන් වනුයේ සුන්දර මනාලිය සහ මනාලයායයි. මංගල දිනය තීරණය වූ දිනයේ පටන්ම වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ මෙම දෙපලගේ වැඩ කටයුතු සඳහායි. හැඩගැන්වීම්වල දී නම් වැඩි ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මනාලියටයි. නමුත් මෙහිදී මනාලිය මෙන්ම මනාලියගේ යෙහෙළියන් ද මනාලයා මෙන්ම දෙවැනි මනාලයන් ගැන ද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. මන්ද මංගල දිනයේ ඔවුන් ද කොටස්කරුවන් වන බැවිනි. නමුත් බොහෝ විට  පෙනී යන්නේ වැඩි දෙනෙකු දෙවැනි මනාලයා හා මනාලියන් ගැන වැඩි අවධානයක් නොදක්වන බවයි.

මනාල යුවලගේ යහළු යෙහෙළියන් තෝරා ගැනීමේදී හැමවිටම ඔවුන්ග් ස්වරූපයට ගැළපෙන අයුරින් ඇගේ උස මහතට වයසට සරිලන සේ යෙහෙළිය ද සිටිය යුතුයි කියා නියමයක් නැහැ. නොගැළපීම් තුලින් ගැලපීම මතු කර ගැනීම නව විලාසිතාවක් (Miss match). වඩාත් සුදුසු වෙන්නේ පින්තූරවලට ගැළපෙන ආකාරයේ අය තෝරාගන්නට සැලකිලිමත් වීම නොව ඔබට ඇති මිත්‍රත්වය සහ ආදරයට මූලිකත්වය ලබා දීමයි. ඔබට ලෙංගතුම හිතවතියන් හා හිතවතුන් ඔබ අසලින්ම ඔබේ විශේෂම දිනයේ සිටීම ඔබට පහසුවක් වගේම සිතට සවියක් ගෙන දේවි.

මංගල දිනයට සය මසකට කලින් මනාලිය තම රුව ගැන සැලකිලිමත් විය යුතු බව උපදෙස් ලැබෙන නමුත් දෙවැනි මනාලියට මෙවන් අවධානයක් යොමු නොවෙයි. බොහෝවිට රූපලාවණ්‍ය ශිල්පියා හමුවීමට මනාලිය පැමිණිය ද දෙවැනි මනාලියන් රූපලාවණ්‍ය ශිල්පියා හමුව නොවන අවස්ථා තිබෙයි. මෙහෙයින් මනාලියගේ යෙහෙළියන්ගේ හැඩගැන්වීම්වලට නිවැරැදි නිගමනයකට එළැඹීමට රූපලාවණ්‍ය ශිල්පියාට නොහැකි වෙයි. දෙවැනි මනාලියන්ගේ හැඩරුව අනුව ඔවුන් හැඩ ගැන්විය යුතු අයුරු, ගැළපෙන විලාසිතා ආදිය තීරණය කර ගැනීමට කල්වේලා ඇතිව හමුවීමෙනි. සමහරවිට ඔවුන් හැඩ ගන්වන දිනයේ කොණ්ඩයහරිහැටි සකසා නොතිබීම, ඇහිබැමි සකසා නොතිබීම, අනවශ්‍ය රෝම ඉවත්කර නොතිබීම, නිය ක්‍රමවත්ව සකසා නොතිබීම, මුහුණේ කුරුලෑ ලප කැළැල් තිබීම වැනි ගැටලුදක්නට පුළුවනි. මනාලියට තරම් නොවුනත් දෙවැනි මනාලියන්ට ද මෙවන් උපදෙස් ලබාදීම අවශ්‍යයි. දෙවැනි මනාලයන් ද රැවුල සහ කොණ්ඩය සැකසිය යුතු ආකාරය ආදිය පිළිබඳව උපදෙස් ලබා දිය යුතුයි.

දෙවැනි මනාලයන් මනාලියට විලාසිතා තෝරා ගැනීමේ දී වුවද වැඩි අවධානයක් යොමුවිය යුතුයි. ඔවුන්ට තෝරාගෙන තිබෙන විලාසිතා, වර්ණ, මනාලිය සහ මනාලයා හැඩගැන්වී ඇති ආකාරය සහ ඇයගේ වර්ණ අනුව ගැළපීම ඉතා වැදගත්ග අනෙක් කරුණ නම් දෙවැනි මනාලියන් තෝරා ගන්නා විට අනවශ්‍ය ලෙස වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමයි. මෙය අනවශ්‍ය වියදමක් මෙන්ම ඡායාරූප ගැනීමේදී ද ගැටලු මතුවන්නක්. හැමවිටම තමන්ට ගැළපෙන ලෙස දැරිය හැකි ලෙස මෙන් තමන්ට පහසු විදිහට කටයුතු කිරීම ඉතා වැදගත්. දෙවැනි මනාලයන් මනාලියන්ගේ ප්‍රවාහන පහසුකම්, සුවපහසුව හා ආහාර ආදිය පිළබඳවත් අනිවාර්යයෙන්ම අවධානය යොමු කල යුතුයි.

දෙවැනි මනාලයන් මනාලියන් තෝරාගෙන ඇත්නම් අනිවාර්යයෙන්ම ඔවුන් ද මංගල උත්සවයේ වැදගත් පිරිසක් ලෙස සිතිය යුතු අතර ඔවුන් ගැන මෙන්ම ඔවුන්ගේ විලාසිතා ගැන ලස්සන ගැන අවධානය යොමු කිරීම වැදගත් කොට සලකන්න. මන්ද ඔවුන්ගේ කිසියම් අඩුපාඩුවක් වුවහොත් එහි බලපෑම මුළු කෙරෙහි ද එල්ලවිය හැකි නිසයි. ඒ වගේම ඔබේ මංගල කණ්ඩායමට සිහිවටනයක් හෝ ත්‍යාගයක් ලබා දෙන්නත් අමතක කරන්න එපා.

– කල්හාරී –