නිර්මාංශ

තරින්ද, නදීව හඳුනගත්තේ විවාහ යෝජනාවකින්. ඉතා කාර්‍යබහුල ජීවිතයක අවුරුදු තිස් හයක්ම හිර වෙලා, මුදල් උපයමින් උන්න හින්දාම තරින්දට උවමනා වෙලා තිබුණේ ටිකක් නිදහසේ ගෙවෙන අවුරුදු කිහිපයක්. නදී වෘත්තීයෙන් ගුරුවරියක් වුණ නිසා ඒ නිදහස ට තවත් ඉඩ ලැබේවි කියලා තරින්ද හිතුවා.  ගෙදර නීතී පද්ධතියක් ඇතුලේ හිර වෙලා හිටපු නදීටත් තරින්ද ඒ වෙලාවේ හොයමින් උන්න ජීවිතේ හරියටම පෑහුණා. ඒ හින්දාම මාස හයක් ඇතුලත විවාහ උත්සවයත් අරගෙන ඉවරවුණා.

මුල් මාසේම දෙන්නා කලේ හිතේ හැටියට ඇවිදපු එක. අගෝස්තු නිවාඩුව එක්ක සමපාත වුණ නිසා නදීට නිවාඩු ගැටළු මතු වුනෙත් නැහැ. තරින්ද ඒ යන එන හැම තැනකම උපරිම මිල ගණන් වියදම් කරා. 

ඒත් ඒ හැම තැනකදීම නදී අපහසුවට පත් වුණ තැනක් තිබුණා. ඒ තමයි ආහාර වේල් වල දෙන්නගේ තිබුණ විවිධත්වය. මාංශ ආහාර වලට තරින්දගේ තිබුණේ ඉහලම නැඹුරුවක්. නදී සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේල් තමයි හෙව්වේ. ඒ හින්දාම සුපිරි හෝටල වල ආහාර මෙනු වල තියෙන  පළතුරු,  එළවළු සලාද වලින් යැපෙන්න නදීට පුලුවන් වුනා. දෙන්නටම අපහසුවක් වුනෙත් නැහැ. නදීගේ ආහාර ගන්න තාලේ දිහා බැලුවම තරින්ද හිතුවේ එක දෙයයි.

“පළතුරු එළවලු කාලා තමයි මේ ශේප් එකට හැඩට ඉන්නවා ඇත්තේ…”

තරින්ද සැරෙන් සැරේට නදීට ඒ ගැන කියලා  සරදම් කරනකොටවත්, තමන් සම්පූර්ණයෙන්ම නිර්මාංශ බවත්, මාංශ ආහාර සැකසීම පවා තමන්ට අපහසු වගත් කියා ගන්න බැරුව ලතැවුණා. මාසයක් විතර ගෙවිලා, දෙන්නා ආයෙම සාමාන්‍ය ජීවිත් වලට ආවා. තරින්ද කලින් තරම් වෙහෙසුණේ නැතුව, වගකීම් ආයතනය තුළ බෙදලා දීලා අලුත් සැලසුම් හැදුවා. 

නදීට පාසැලේ වැඩ වැඩි වෙන දවසට  රෑට  කෑම හැදුවේ තරින්ද. එක දවසක් නදීගේ ආහාර වේලට සත්ව ප්‍රෝටීන එකතු කරවන්නම ඕනි කියන අදහසින් තරින්ද සම්පූර්ණ මාංශමය ආහාර වේලක් හැදුවා. හැමදාම රෑ කෑම වේලේදි දෙන්නා මුන ගැහෙනකොට, නදී සම්පූර්ණයෙන්ම එළවළු සහ පලතුරු එක්ක  නිර්මාංශ ආහාර වේලක් ගන්න බව දැක්කත්, තරින්ද හිතුවේම ඒක ශරීරයේ හැඩ පාලන උපක්‍රමයක් බව. 

තරින්ද නදී කාලා ඉවර  වෙනකල් බලාගෙනම හිටියා. 

“මං ඔයාට ආදරෙන් නේ හැදුවේ..? ඉතින් කන්නේ නැද්ද ?”

එහෙම ඇහුවේම මානසික බන්ධනයකට නදීව අල්ලගන්න හිතාගෙන. ඒ හිතුවා වගේම නදී හුස්ම හිර කරගෙන කෑම කෑවා. තරින්ද හිටියෙත් සතුටින්.  සත්ව ප්‍රෝටීන් ආහාර වේලට අනිවාර්යයෙන් තියෙන්න ඕනි බව දැනගෙන උන්න තරින්ද, මෙහෙම කරන්නේ නදීට තියෙන ආදරේට.

විනාඩි කිහිපයක් ගෙවුණා. නදී එකපාරටම පුටුවත් පෙරළගෙන නාන කාමරයට දිව්වා. ඉවරයක් නැතුව වමනේ කරන බිරිඳව වාහනේට දාගෙන තරින්ද පෞද්ගලික රෝහලකට වාහනේ අරගෙන ගියේ නදීගේ අම්මට ඇමතුමක් දෙන ගමන්.

නදීව රෝහලට ඇතුලු කරලා, එවෙලේ පසුබිම ගැන වෛද්‍යවරයා ට පැහැදිලි කරලා තරින්ද එලියට එනකොට නදීගේ අම්මලා ඇවිල්ලා. වුණේ මොකක්ද කියලා ඉවර වෙනකොටම නදීගේ අම්මා කීව දේ එක්ක තරින්දට දැනුණේ ඔලුව උඩ බෝම්බයක් පිපිරුවා වගේ. 

“දෙය්යනේ පුතේ.. මේ ළමයාට මස් මාළු උයන්නවත් බෑ. එයාට වමනේට එනවා.. බ්ත්තර තැම්බෙන තැනකවත් ඉන්නේ නෑ මෙයා.. මං ඒත් අහනවා ඔයාට කොහොමද උයලා දෙන්නේ කියලා, එතකොට කිව්වනේ ඔයා ඒ කෑම හදාගන්නව කියලා …”

තරින්ද තමන් ගැන කලකිරීමෙන්, නදී ගැන වේදනාවෙන් වගේම කෝපයෙන් ඒ රැය රෝහලට වෙලා ගෙව්වා.  පස්සේ පස්සේ හිතේ තරහ වැඩි කමට රෑ නදීව නවත්තපු කාමරේට නොගිහින් එලියේ පුටුවකම හිටියා. 

“මට සමාවෙන්න ..”

ඉස්සෙල්ලාම කිව්වේ නදී.

“තමන්ව තමන්ගේ පළවෙනි වගකීම වෙන්න ඕනි. ඔච්චර අකමැති නම්, මොන එකකටද ඒ උදේ හවස එච්චර මස් මාලු හැදුවේ… හද හදා කොච්චරක් දුක් වින්දාද ඔයා ?”

තරින්ද පුපුරලා හැලුණා.

“ඔයා බැන්දේ කාලා බීලා නිදහසේ ඉන්න.. සැනසීමෙන් ඉන්න.. ඉතින් ආස විදියට කෑම ටිකවත් හදන්නේ නැතුව මගෙන් ඇති වැඩේ මොකක්ද ..?”

තරින්ද අත මිට මොළවා ගන්නවා දකිනකොට නදි පිම්බුණ පිටි අල්ල පිරිමැද්දා.

“මං කසාද බඳින්න කලිනුත් කාලා බීලා හිටියේ නදී.. මෙච්චර ට්‍රැඩිශනල් කතා කියන්නෙපා… දෙය්යනේ, අඳුනගෙන මාස හයකට එහා.. මං දන්නේ නෑ ඔයා වෙජ් කියලා .. මං කොච්චරක් ෆේල් මිනිහෙක්ද කියලා විතරයි හිතෙන්නේ…”

“එහෙම එපා..ප්ලීස්.. මගේ වැරැද්ද …”

“මේ සෙල්ලමෙන් තමුසේ මැරෙන්න වුනත් තිබුණා නදී…”

“මං හිතුවේ ඔයාට මාව එපා වෙයි කියලා .. ඔයා ආසම දේවල් මගේ අතින් කරන්න බැරි වෙනකොට…”

තරින්ද මුකුත් නොකියා හිටිය්‍ර්‍ර් කෝපය පාලනය කරගන්න ඕනි කමට. ගැහැණු වුනත් , පිරිමි වුනත් ඕනැම සම්බන්ධතාවයක් ඇතුල්‍ර්‍ර් නම්‍යශීලී වෙන්න ඕනි බව තරින්ද දන්නවා. ඒත්, ඒ නම්‍යශීලී වීම ඇතුලේ තමන් විනාශ නොවෙන්න ඕනි බව නදී දැනගෙන උන්නේ නැති එක ගැන තරින්ද හිතාගන්න බැහැ. ඒ තරම් කැපකිරීමක් බලාපොරොත්තු වෙන්නවත් බැරි ලෝකෙක නදී වෙනුවෙන් තව තව ආදරේ පිරෙන්න ඉඩ තමන්ගේ ජීවිතේ හැදෙන බවත් තරින්ද ට වැටහුණා. 

| අපේක්ෂා ගුණරත්න |

More Stories

Don't Miss


Latest Articles