කෘත්‍රීම පෝෂක වෙනුවට රටඉඳි කෑමට ගනිමුද?

අතීතයේ පටන් සාම්ප්‍රදානුකූලව රාමදාන් මාසය තුළ උපවාසය බිඳ දැමීමට යොදා ගන්නේ අතිශයින්ම පෝෂ්‍යදායක ආහාරයක් ලෙස පිළිගැනෙන ඉදුණු රටඉඳියි.  Date palm හෙවත් රටඉඳි වල සෞඛ්‍යමය වාසි රැසක් ඇති බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.

ෆොසිල වාර්තා අනුව වසර මිලියන 50 කට ආසන්න කාලයක් තිස්සේ රටඉඳි පැවත තිබේ. ලෝකය පුරා විවිධ ආහාර සඳහා භාවිතා කරන රටඉඳි  වසර දහස් ගණනක් පුරාවටම මැදපෙරදිග සහ ඉන්දු නිම්නයෙහි ප්‍රධාන ආහාරයක් ලෙස භාවිතයට ගෙන තිබේ.

නිසියාකාරව ගබඩා කර තෙතමනය රඳවා තබා ගත් කෑමට ප්‍රියජනක වේ. වර්තමානයේ බොහෝ විට අපගේ ආහාරයට එක්කරගන්නේ ස්වාභාවිකවම ඉදුණු රටඉඳි නොව මඳක් පැසුණු ගෙඩි යන්ත්‍රානුසාරයෙන් තලා සීනි එක්කොට සාදාගත් රටඉඳි ය. හොඳම රටඉඳි තද දුඹුරු පැහැයෙන් යුතු අතර පිට පැත්තේ පැණි ගතියකින් තොරවේ. එමෙන්ම මිහිරි පැණි රසයකින් යුතුය.

රටඉඳි ශරීරයේ බලය, ශක්තිය වඩන අගනා ආහාරයකි. කෙට්ටු බව මට්ටු කරන්න ගුණවත්ම ආහාරයක් ලෙස දිනපතාම රටඉඳි මදුළු කිහිපයක් ගැනීම පුෂ්ටිමත් බව වැඩි කර ගත හැක. ඛනිජ ලවණ සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා එය අස්ථි ශක්තිමත් කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වැනි වේදනාකාරී රෝග පාලනය සඳහා වැදගත් වේ.

රටඉඳි වල තිබෙන කෙඳි ස්වභාවය නිසා මල පිරිසුදු කරන අතර මුත්‍රා පීඩා දුරු කරයි ශරීරයේ පිත්තාධික රෝග හා ශරීරයේ දැවිල්ල නැති කරයි. ස්නායු දුර්වලතා මඟ හරවා කායික ශක්තිය වඩයි. ලිංගික දුර්වලතා මගහැරවීමට ගුණදායකයි.

රටඉඳි වල කොලෙස්ටරෝල් අවම වන අතර ඉතා කුඩා ප්‍රාණයෙන් මේදය අඩංගු වන නිසා හෘදයට හිත කරයි.  ඔබගේ දෛනික ආහාර වේලට කුඩා ප්‍රමාණවලින් ඒවා ඇතුළත් කිරීම මගින් ඔබට කොලෙස්ටරෝල් මට්ටම සමබරව තබා ගැනීම සහ බර අඩු කර ගැනීම සඳහා යොදා ගත හැක.

මෙහි B1, B2, B3 සහ B5 වැනි විටමින් අඩංගු වන අතර, A1 සහ C වැනි විටමින් වර්ග ද අඩංගු වේ. දිනකට රටඉඳි ගෙඩි කිහිපයක් ආහාරයට ගැනීමෙන් ඔබට විටමින් අතිරේක ලබා නොගෙන සිටිය හැක. මෙනිසා රසවත් ගුණවත් රටඉඳි ඔබේ ආහාරවේලට එකතු කර ගැනීමට අමතක නොකරන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles