දීර්ගායුෂ ගෙන දෙන ඖෂධීය ගුණයෙන් අනූන තණහාල්

අතීතයේදී හේන් ගොවිතැනේ දී වැදගත් තැනක් ලැබුණු තණහාල් (Foxtail millet) ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍යයකි. කිරි දෙන මව්වරුන්ට තනකිරි අඩු වූ විට තනකිරි වෙනුවට තණහාල් කැඳ පිස පෙවිය හැකි බවට විශ්වාසයක් වේ. එවන් ගුණවත් තණහාල් රෝගි අයකුට පමණක් නොව නිරෝගි අයට නිරෝගිභාවය වඩාත් හොඳින් පවත්වා ගැනීමට ඉවහල් වේ.

කුඩා ධාන්‍ය ගණයට අයත් තණහාල් වැපිරීමෙන් පසුව නඩත්තුවකින් තොරව නිසි කලට කරල් හට ගන්නා ශාකයකි. කරල් පැසුණු පසු අව්වේ වේලා ගැනේ. ඉතාමත් කුඩා ධාන්‍ය වර්ගයක් වන තණහාල් වංගෙඩියක කොටා කුල්ලෙන් පොලා සකසා ගත යුතු අතර යන්ත්‍රනුසාරයෙන් සකස් කර ග. නොහැකි නිසා එතරම් ජනප්‍රිය භෝගයක් නොවේ. කෘත්‍රීම පොහොර හා පලිබෝධ නාශක නොයොදන නිසා පරිසර හිතකාමී වේ. තණහාල්  කැඳ ලෙස පමණක් නොව රසවත් බතක් ලෙස ද රො‍ටී ද සාදා ගත හැක.

ආයුර්වේද පොත පතට අනුව දියවැඩියා රෝගීන්ට තණහාල් සුදුසුම ආහාරක් වේ. ගබ්සා සිදු වූ අයට මෙන්ම වකුගඩු හා මූත‍්‍රා ද්‍යෝෂ ඇති අයට ද ඉතා ගුණදායක ය. ආයුර්වේදයට අනුව සර්පයින් දෂ්ට කළ විට විෂ බැස්සවීම සඳහා විසින් තණහාල් කැඳ පිස රෝගියාට පොවනු ලැබේ. තණහාල් සෙම් රෝග නසන ඖෂධයක් හැටියට ද හැඳින්වේ. මෙහි ඇති විටමින් B1 ඇල්සයිමර් රෝගය වර්ධනය වීම මන්දගාමී කරවයි. තණහාල් අජීර්ණ සුවකිරීමට, අස්ථි බිඳීම් වලට ප්‍රතිකාර කිරීම සඳහා ඉන්දියාවේ භාවිතා කෙරෙන අතර පාචනය සුවකිරීමට චීනයේ භාවිතා කෙරේ. හිමාලයේ ජීවත්වන Hunzas ගෝත්‍රිකයන් යහපත් සෞඛ්‍යය සහ දීර්ඝ ආයු කාලය සඳහා ප්‍රසිද්ධ අතර තණහාල්  ඔවුන්ගේ ආහාර වේලෙහි ප්‍රධානතම අංගයක් වේ.

තණහාල්වල ඇති ඖෂධීය වටිනාකම අපමණ ය. නමුත් සංවේදී පුද්ගලයින්ට ආසාත්මිකතා ඇති විය හැකි නිසා ඔවුන් එය වළක්වා ගත යුතුය.  එය සීමිත ප්රමාණයකින් පරිභෝජනය කළ යුතුය. විශේෂයෙන්ම ශරීරයට බෙහෙවින් ගුණදායක වන තණහාල්  දීර්ගායුෂ විදීමට කැමති අයට අනගි ආහාරක්. කෘෂි රසායන කිසිවක් මුසු නොවන අතර තණහාල්  ආහාරයට ගැනීමෙන් රෝග වැළැක්වීමට ලැබෙන පිටවහල ඉතා වැදගත් වේ.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles