හොඳ අම්මලා දරුවන් නිදිකරවන හැටි

සමහර පුංචි දරුවන් රාත්‍රියට නිදාගන්නට තරමක් අදිමදි කරනවා. විදුලි පහන් නිවා දමා බලහත්කාරයෙන් දරුවන් නින්දට පෙළඹවීමට එවැනි අවස්ථාවල දී සමහර දෙමව්පියන් වෙහෙසෙනවා. ඒත් එය කිසිසේත් ම සාර්ථක සහ සාධාරණ විසඳුමක් නොවෙයි. නිදාගැනීම දරුවන්ට දඩුවමක් හැටියට අත්විඳින්නට දෙන්න එපා. නින්දේදී සිරුරටත් මනසටත් දැනෙන සැහැල්ලුව ලොකු කුඩා හැම කෙනෙකුට ම එක සේ වැදගත්. මේ නිසා බලහත්කාරයෙන් දරුවන් නින්දට ඇද දමන දෙමව්පියන්ට ඒ ක්‍රමය අතහැර දරුවන් සැහැල්ලු නින්දකට ප්‍රවේශ කරන්නට මේ උප‍දෙස් වැදගත් වේවි.

  • ඔබේ කාර්යබහුලබව සහ ඒ නිසා දැනෙන වෙහෙස දරුවා මත නොපටවන්න.

රැකියා කටයුතු සහ ගෘහ කටයුතු සමඟ දවස පුරා ඔබ වෙහෙසට පත්ව සිටින මොහොතේ දරුවා වෙනුවෙන් අවධානය යොමු කරන්නට ඉතිරිව ඇත්තේ ස්වල්ප කාලයක් විය හැකියි. ඒත් ඒ කෙටි කාලය තුළ දරුවාට ඔබ සමඟ බෙදාහදාගන්නට හැඟීම්, හිතිවිලි කොතෙකුත් ඇති. ඔවුන්ට හොඳින් සවන් දෙන්න. ඔබේ වෙහෙස, අවිවේකය, අමතක කරදමන්න. සැහැල්ලුවෙන් දරුවාට කාලය දෙන්න. නින්දට දරුවා නිරායාසයෙන් යොමුවන තුරු ඉවසන්න.

  • දිනපතා පවුලේ සියලු දෙනා එක් ව නින්දට යන වේලාවක් නිශ්චය කරගන්න.

දරුවන් පළමුව නින්දට යවා තවදුරටත් ගෙදර දොරේ ඉතිරිව ඇති වැඩ කටයුතු ද අවසන් කර නින්දට යාම අම්මලාගේ පුරුද්දයි. ඒත් දරුවන්ට එය එතරම් හිතකර ලෙස දැනෙන්නේ නැහැ. දෙමව්පියන් සමඟ එක්ව නින්දට පිවිසෙන්නට දරුවන් වඩාත් කැමතියි. මේ නිසා හැම රාත්‍රියක ම නිශ්චිත වේලාවක් තුළ දරුවන් සමඟ එක්ව නින්දට යාම පුරුද්දක් කරගන්න.

  • මිහිරි පසුබිම් සංගීතයක්, ඇසට අපහසු නැති සියුම් ආලෝකයක්, බිත්තිවල එල්ලන ලද දරුවන්ට ආකර්ෂණීය චිත්‍ර හෝ ඡායාරූප සහිත සිත්ගන්නා නිදන කාමරයක් සැලසුම් කරගන්න

නින්දට පළමුව මනසට දැනෙන සැහැල්ලුව මුලු රාත්‍රියෙහි ම සැනසිලිදායක නින්දකට මගසලසනවා. දරුවන්ගේ මනස ඉතා සියුම්. ඔවුන් ඉක්මණින් දුක්වෙනවා. ඉක්මණින් තරහගන්නවා. ඉක්මණින් සියල්ල අමතක කර සිනාසෙනවා. කලබලකාරී නින්දකට දරුවන් කෙසේ හෝ යොමුකරන්නට දරන වෙහෙස අත්හරින්න. නිදන කාමරය ඔබට හැකි උපරිමයෙන් සුන්දර කරගන්න.

  • විනෝදවිය හැකි, රසවත් කතාවක් හෝ ගීතයක්, හෝ කවියක් දරුවාට කියා දෙන්න.

සවන්දීමට දරුවන් හුරුකරවන්නට හොඳම වෙලාව නිදි ඇ‍ඳේ කතා කියාදෙන්නට ඔබ ගන්නා වේලාවයි. රසවත් ඉදිරිපත්කරන්නෙක් වන්න. දරුවාට අන් කිසිවක් නොසිතා කතාවෙහි චරිත තුළ දැහැන්ගත වන්නට‍ එවිට හැකිවනු ඇති. කතා ඇසීමෙන්, ගී ඇසීමෙන් දරුවාගෙ මනසට දැනෙන සැහැල්ලුව නිසාම නින්ද නොදැනීම දරුවන් වෙත ළඟාකරවන්නට ඔබට හැකිවේවි.

  • පිරිසිදුබව, ආරක්ෂාව සහ නිශ්ශබ්දතාව පවත්වාගන්න

ඇඳඇතිරිලිවල පිරිසිදුබව, මදුරුවන් සහ මකුණන්, මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂාකාරී වීම, දරුවා දහඩියෙන් තොරව පිරිසිදු කර තැබීම සහ නිදන කාමරයේ පිරිසිදුබව සහ නිවසේ නිශ්ශබ්ද වටපිටාව අඛණ්ඩ ව පවත්වාගන්න.

  • දරුවාගේ නින්ද ගැන කරදර වීම නතරකරන්න. සිපගැනීම, ආදරණීය ස්පර්ශය, හිස අතගෑම හෝ  වැනි ආදරණීය සත්කාර ලබාදෙන්න

දරුවන්ට නින්ද යන්නට ගතවන කාලය හැමවිට ම සමාන නැහැ. ඇතැම් දිනවල ඇඳට ගිය සැණින් නින්දට යන දරුවා තවත් දිනක බොහෝ වේලාවක් නිදි ඇ‍ඳේ අවදියෙන් සිටින්නට හැකියි. එපමණක් නොව තරමක් කලබලකාරී හැසිරීම්, එසේත් නැතහොත් නිදිමත වැඩිකමින් හේතුවක් නැතිව එකදිගට ඇඩීම වැනි ලක්ෂණ පෙන්වන්නට පුළුවනි. මේ සියල්ල පාලනය කරන්නට ඔබ වඩාත් සන්සුන් විය යුතුමයි. මවක් හැටියට කැපවීම, ඉවසීම සහ දරාගැනීම ඔබ තරම් හොඳින් ප්‍රගුණ කළ කිසිවෙකුත් නැහැ. මේ නිසා ආදරය පමණක් ම යොදාගෙන දරුවා නින්දට පොළඹවන්න.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles