අල්ලපු ගෙදර එක්ක තරහ ද?

කැමති ඇඳුමක් නිදහසේ අඳින්න නෑ.. ගමනක් අපට ඕන දවසක යන්න විදියක් නෑ..කෙනෙක් ව නිදහසේ අපේ ගෙදරට ගෙන්න ගන්න නෑ.. කොටින් ම අපට අපේ පාඩුවෙ ඉන්න විදියක් ඇත්තෙම නෑ.., ඔය වගේ අමිහිරි චෝදනා කරන්නට සිදුවන, අනුන්ගෙ දේවල් හොය හොයාම මුලු දවස ම  ගත කරන අසල්වැසියන් ඔබටත් ඉන්නවා ද? කොයිතරම් මහන්සි වුණත් එහෙම අයගෙ ආකල්ප සහ ක්‍රියාත්මකවීම් වෙනස් කරන්න, තවමත් ඔබ අපොහොසත් වෙලා ඇති. ඉතින් ඔබ ඒ අය වෙනුවෙන් කේන්තිය නඩත්තු කරන්නට කාලය තව තවත් නාස්ති කරන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ දේවල් කරලා බලන්න.

පිළිගැනීම් ලබාදෙන්න

කෙනෙක් තව කවුරු හරි කෙනෙකුට චෝදනා කරන්නේ, එහෙමත් නැත්නම් විවේචනය කරන්නේ එයා අපේක්ෂා කරපු සුහදශීලී පිළිගැනීම තමන්ට නොලැබුණු අවස්ථාවෙදියි. සමහර විට හදවතින් ම එකවර ම ඒ පිළිගැනීම ලබාදෙන්න තරම් පැහැදීමක් තවමත් අදාළ පාර්ශවය ගැන අප තුළ ඇති නොවිය හැකියි. ඒත් ඒ බව ‍හඟවන්නේ නැතිව, සිනාමුසු මුහුණින්, ප්‍රියජනක අයුරින්, ගෞරවනීය පිළිගැනීමක් ම ලබාදෙන්න. මිනිසුන් තුළ ඇති බොහෝ නරක ගතිගුණ ඒ ඇසුරින් තුරන් කළ හැකියි.

ආදරණීය බව පෙන්වන්න

ජීවිත කාලය පුරාවට ම තමන්ට නොහැකි වුණ, නොතිබුණ, මේ තාක් ළඟා කරගන්නට බැරිවුණ දේවල් අනිකාට පවතින විට, හිමිවන විට,  හිතේ මතුවන වේදනාව, හීනමානය, කළකිරීම මත තමයි බොහෝ දෙනෙක් අනික් අය ව විවේචනය කරන්නේ. දොස් කියන්නේ. ද්වේශ කරන්නේ. ඔවුන්ට හැකිතාක් ආදරණීය වන්න. සානුකම්පිත වන්න. ඔවුන් පරාජිතයන්, අධමයින්, දුර්ජනයින් සේ නොසලකන්න. ආදරය, සහයෝගය, ශක්තිය ඔවුන් වෙනුවෙන් නොමසුරුව පරිත්‍යාග කරන්න.

ඕනෑම කරදරකාරී අවස්ථාවක ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බව අවබෝධ කරවන්න

සතුටකදි, වාසියක දි එකතු වෙන බො‍හෝ මිනිසුන් දුකක්, කරදරයක්, හානියක් වූ වෙලාවක දි මග අරිනවා. පසුබසිනවා. අසල්වැසියන් සම්බන්ධයෙන් එවැනි තත්වයක් ඇතිවීම අතිශයින් ම නුසුදුසුයි. කළකිරීම් නඩත්තු කරන්න ඔවුන්ට ඉඩ හදාදෙන්න එපා. හැම මොහොතක දීම,  ඕනෑම කරදරයක දී හැකි උපරිමයෙන් අසල්වැසියන් වෙනුවෙන් පෙනී සිටින්න. ඔවුන් ඔබ ගැන ඇති කරගෙන සිටින සියලු දුර්මත ඒ හරහා තුරන් වී යාවි.

අනාරක්ෂිතබව, අවිශ්වාසය, අපැහැදීම ඇතිවන කිසිවක් නොකරන්න

අනුන්ට කරදරකාරී වන ලෙස බල්ලන්, පූසන් වැනි සතුන් ඇතිකිරීම, ශබ්ද නඟා කථාකිරීම, අධික ශබ්දයෙන් රූපවාහිනී, රේඩියෝ ආදිය භාවිත කිරීම, අහිතකර දුම් ගැස්සවීම, කුණු රොඩු විසිකිරීමේ ගැටළු, බොහෝවිට ඔබෙ අසල්වැසියන්ට ඔබ නුරුස්සන්නට හේතු විය හැකියි. ඇතැම්විට ඔවුන්ගේ වත්තේ දේවල් සොරකම් කිරීම වැනි කටයුත්තකට ඔබ සම්බන්ධ නොවුණත් ඔවුන් ඔබ සැක කරනවා විය හැකියි. මෙවැනි අවිශ්වසනීය, අපැහැදීම් බහුල, අනාරක්ෂිත පසුබිමක් ඔබ සහ අසල්වැසියා අතර ගොඩනැ‍ඟෙන්නට ඉඩ තබන්න එපා. ඔවුන් ට ඔබ ඇතුළු පවුලේ අය හොඳින් අවබෝධ කරගන්නට ඉඩ හදන්න.

සහයෝගය, බෙදාහදාගැනීම ඇසුරින් ගැටළු, අභියෝග, අපහසුතා සහ  අවශ්‍යතා  හමුවේ ඔවුන් අත්නොහරින බව හඟවන්න

කාට වුණත් අසනීප, කරදර එන්නෙ කිය කිය නොවෙයි. ඒ වෙලාවට කාගෙන් හරි ලැබෙන සහයෝගය තරම් ශක්තියක් තවත් නෑ. ඔබේ අසල්වැසියන් වෙනුවෙන් එවැනි හැම අවස්ථාවක දී ම ඔබට හැකි හොඳම අයුරින් පෙනී සිටින්න.

ආකල්ප, අවබෝධය, ක්‍රියාත්මක වන ස්වභාවය ගැන ඔවුන්ට ම පැහැදීමක් ඇතිකරගන්නට කාලය දෙන්න.

බොරුව, පුරාජේරුව, මහන්තත්තකම, තුළින් ඔබේ දුර්වල තැන් වසා ගන්නට උත්සාහ කරන්න එපා. ව්‍යාජ ජීවිත ගතකරන මිනිසුන් සමාජයෙන් හරි ම ඉක්මණට කොන් වෙනවා. ඔබේ යහපත් ආකල්ප, දේවල්වල දී ඔබ හැසිරෙන විදිය, ඔබේ නිහතමානීකම හොඳ අසල්වැසියන් ඔබට බිහිකරදේවි.

මුලින් සඳහන් කළ ආකාරයේ අමිහිරි චෝදනා, නිදහස සම්බන්ධ ගැටළු තවදුරටත් ඔබේ අසල්වැසියා සහ ඔබ අතර ඉදිරියේ දී ඇති නොවන බව අපට විශ්වාසයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles