වහගන්නවා කට.. තව එක වචනයක්වත් එපා..

මුලින් ම කියන්න ඕනේ, ස්වාමිපුරුෂයා මේ විදියට ගෝරනාඩු කරන ගෙදරක බිරිඳක් වෙන්න ඔබට කවදාවත් ලැබෙන්න එපා. ඒත් ඔබ නොදැනුවත්වම ඔබෙන් වූ වරදකින් හෝ ඔබ කිසිසේත් ම වරදක් කර නැති අවස්ථාවක දී ඇති වූ යම් වැරදි අවබෝධයක් හේතුවෙන් හෝ එසේත් නැත්නම් ඔබට ඔබව පාලනය කරගන්නට නොහැකිව ඔබ උද්වේගකර හැසිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔබට ඔබේ සැමියා මෙහෙම කතා කළොත් ඔබ මොකද කරන්නේ…? එහෙම නැත්නම් මේ වනවිටත් මේ ‍අමිහිරි නියෝගය අහන්නට ලැබුණු බිරිඳක් නම්.. ආයෙත් කවම කවදාවත් එහෙම නොවෙන්න මොකක්ද කරන්න ඕනේ..

  • වරද ඔබෙන් සිදුවූ අවස්ථාවක දී එය යටපත් කරගැනීමට ඔබ කරන කරුණු පැහැදිලි කිරීමක් නම් එය වහාම නතර කරන්න.
  • උස් හඩින්, ආවේගශීලීව වචන භාවිත කරනවිට අසා සිටින්නන්ට ඒ වචන කිසිසේත් ප්‍රියජනක වන්නේ නැහැ. ඒ නිසා ඉතා ඉක්මණින් නිශ්ශබ්දතා ප්‍රතිපත්තියට අනුගත වන්න
  • ඔබ සාධාරණ වුණත්, අසාධාරණ වුණත් හඩනගා කරන ගෝරනාඩුවල ප්‍රතිඵල ඔබ දෙපළට ම අවාසිදායක වීම වළක්වන්නට බැහැ. මේ නිසා පළමුව ඔබ ම ඒ අවාසිය මඟ හරින්න.
  • ඔහුගේ උද්වේගකාරී හැසිරීමට ඔබෙන් උද්වේගකාරී පිළිතුරු කිසිසේත් ම අනවශ්‍යයි
  • ඔබේ කේන්තිය හැකිතාක් ඉක්මණින් ඉවර කරගන්න.
  • ඔහුගේ මනෝභාවයන් ඉතා ඉක්මණින් වෙනස් කළ හැකිසතුටු වෙන, සියල්ල අමතක කළ හැකි ප්‍රබල සන්නිවේදන උපක්‍රමයක් යොදාගන්න. (රස තේ එකක්, චිත්‍රපටියක්, ලිංගික ඇරයුමක්)
  • කරුණු සාධාරණීකරණයට හරිම වෙලාව එනතුරු වෙලාව ගන්න.හැකිතාක් වචන භාවිතය අඩු කරන්න
  • දෝෂාරෝපණවලට සවන්දීම සහ ප්‍රතිචාර දැක්වීම උපරිමයෙන් ම මඟහරින්න.
  • දැන් මේ මොහොතේ සිදුවීම පමණක් නඩත්තු කරන්න. අතීතය අවුස්සාගෙන ආවේග බෙදාගන්න එපා.
  • තීන්දු තීරණ ගන්නට ඉක්මන් වෙන්න එපා
  • ඔබේ දරුවන්, දෙමව්පියන්, වෙනත් වැඩිහිටියන් සහ අසල්වැසියන් ඔබ වටා සිටින බව මතක තබාගන්න
  • කෙතෙක් අසීරු වුවත් ඔබේ හැසිරීම සාමාන්‍ය ස්වභාවයෙන් ම පවත්වාගන්න.
  • මේ ලෝකයේ නිකරුණේ දොස් අහන්නට සිදුවන එක ම කෙනා ඔබ නොවෙයි. ඒ නිසා මේ ඔබ අතිශයින් ප්‍රකම්පනය විය යුතු මොහොතක් නොවන බව හිතන්න.
  • ඔබෙන් ඇත්තටම වරදක් හෝ අතපසුවීමක් සිදු වූ මොහොතක් නම් ඔහුට ඔබ ගැන ඇතිවන තරහ දෙගුණ වන්නේ ඔබ මේ මොහොතේ නිවැරදි වන්නට දරන උත්සාහය නිසයි. ඒ නිසා තර්කකිරීම්, හේතු දැක්වීම්, නිදහසට කරුණු දැක්වීම්, වරද ඔහු මත පැටවීමට තැත්කිරීම, අන්‍යයන් පාවාදීම වැනි අදූරදර්ශී ක්‍රියා සම්පූර්ණයෙන් ම අත්හිටුවන්න.
  • එකට එක කියමින් බැනඅඬගසාගැනීම් වෙනුවට හැකිතාක් ඉක්මණින් ආවේගකාරී අවස්ථාව මඟහරින්න. නිවසේ රැඳී සිටීම අහිතකර නම් පමණක් වෙළඳසැලකට යාම, ආගමික ස්ථානයකට යාම, සැමියාට සැක නොසිතෙන, අකමැති නොවන හිතවතෙකුගේ හෝ ඥාතියෙකුගේ  නිවසට යාම වැනි උපක්‍රම අත්හදා බැලිය හැකියි. එහෙත් ඔබ ඔහු සමඟ ගැටළුවක සිටින බව අන්‍යයන් කිසිසේත් දැනගත යුතු නැහැ. දරාගන්නට බැරි පීඩාකාරී තත්වයකට ඔබ පත්ව සිටිනවානම් ඔහු ගැන විවේචනය කිරීම වෙනුවට ඔබ පත්ව සිටින මානසික පීඩාව ඉවත් කරගැනීමට ඔබ හොඳින් අවබෝධ කරගන්නා නිවැරදි මඟපෙන්වීම් කරන මිතුරෙකු/මිතුරියක්, හෝ පවුලේ සමීපතමයෙක් සමග  මේ ගැන කතා කරන්න.

ආවේග හමුවේ පිටවන වචන සහ තුවක්කු අතර වෙනසක් නැහැ. ඒ නිසා කිසිවිටෙකත් කිසිවෙකුටත් වචනවලින් වෙඩිතියන්න එපා. එහෙම වුණොත් කට වහගන්න යන රුදුරු නියෝගයට ලක්වන්නට කිසිදිනෙක ඔබට සිදුවන්නේ නැහැ.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles