Dry skin ද? … මෙන්න බෙහෙත්

සිරුරේ අලංකාරය සහ  නිරෝගී බව ගැන නිරන්තරයෙන් ම සැලකිලිමත්වීම හැම කාන්තාවක් ම හුරු කරගත යුතු පුරුද්දක්. සමේ තෙතමනය නොරැඳෙන එක ගැන දුක් වෙවී ඉන්නෙ නැතිව, පුංචි පුංචි රූපලාවන්‍ය ගැටළුවලටත් සැලුන් යන එකත් නතර කරලා, ඔබේ කාලය ගෙදර සිට ම ඉතිරි කරගෙන, වියදමත් අඩු කරගෙන ඔබේ සමේ පැහැපත්බව තෙතමනය රඳවාගන්නට පහසු ක්‍රම හුඟක් තියෙන බව ඔබ දන්නවා ද?. හොයාගන්න  ඒ හැටි අමාරු නැති, ඔබේ වියළි සම පහසුවෙන් රැක දෙන මේ ප්‍රතිකාර ඔබත් නිවසේ සිට ම අත්හදා බලන්න.  

  1. ඔලිව් තෙල්

ඔලිව් තෙල්වල අඩංගු ඇන්ටිඔක්සිඩන්ට් සහ සෞඛ්‍යමත් මේද වර්ග නිසා ඒවා සම මත ආලේප කිරීමෙන්  සමේ වියළි ස්වභාවය ඉක්මණින් ම තුරන් කරගත හැකියි. ඔලිව් තෙල් සම මත ආලේප කර හිරු රැස්වලට නිරාවරණය වීම නම් සුදුසු වන්නේ නැහැ.

  1. යොදය සහිත කිරි

කිරි වල ඇති තෙතමනය නිසා ඒවා පානය සහ ආහාරයට ගැනීම, සිරුරේ වියලි සහ කසන තත්වයන් පහ කරන්නට උපකාර වනවා.  කිරි වල ඇති ලැක්ටික් ඇසිඩ් වල පරිපුර්ණ බව නිසා තෙතමනය සම මත රඳවා තබන්නටද හැකි වන අතර සමේ දිප්තියද වර්ධනය කරනවා.

  1. යෝගට්

යෝගට් යනු සම රැකගන්නට භාවිතා කරන්නට පුළුවන් හොඳම අත් බෙහෙතක්. කිරි සහ යොදය  ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල වගේ ම  සමේ ආලේප කිරීමෙන්  ලැබෙන ප්‍රතිඵලත් ඉතා ඉහළයි.

  1. පොල්තෙල්

පොල්තෙල් යනු වියලි සමකට හොඳම ප්‍රතිකාර ක්‍රමයක්. රාත්‍රී නින්දට පෙර අත් සහ කකුල්වල ආලේප කිරීමෙන් වියළි බව නැතිකර සුමුදු සමක් ලබාගත හැකියි.

  1. කෝමාරිකා

කෝමාරිකා යනු සමකට ලබා දෙන්න පුළුවන් විශිෂ්ට ගණයේ ස්වභාවික ඔසුවක්. හදිසි අනතුරක් නිසා සම පිළිස්සුනත් කෝමාරිකා ඒ පිළිස්සුනු තැනට ගෑමෙන් මැරුණු සම ඉවත් වී අලුතින් සම නිපදවෙන්න පටන්ගන්නවා. නිතර නිතර පානය මඟින් ඇඟේ උෂ්ණ ගතියත් සම මත ආලේප කිරීමෙන් සමේ වියළි ස්වභාවයත් සහමුලින් ම ඉවත් කරගත හැකියි.

  1. මොයිස්චරයිසර් ක්‍රීම්

හොඳ ප්‍රමිතියකින් යුත්  මොයිස්චරයිසරයක් සැම විටම සමේ ආලේප කිරීම ඔබේ කාර්යබහුල ජීවිතයට පහසු අත්දැකීමක් වනු ඇති. වායුසමනය කළ වාහන, කාර්යාල හෝ නිවෙස්වල වැඩි කාලයක් ගත කරනවිට, මෙය ඔබට ඉතා පහසු ප්‍රතිකර්මයක් වේවි.

ඔබේ සම උපතින් ම වියළි ස්වභාවයක් උසුලනවානම්, එසේත් නැත්නම් කිසියම් හේතුවක් මත අධික වියළි ස්වභාවයකට ලක් වී තිබේනම් ඉහත ප්‍රතිකාර ක්‍රමවලට අමතර ව,  නිතර නිතර වතුර පානය, ඌෂ්ණාධික ආහාර පානවලින් වැළකීම, තද අවුවට නිරාවරණය වීමෙන් වැළකීම, වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය විටමින් වර්ග ලබාගැනීම වැනි ප්‍රතිකර්ම සඳහා හැකි ඉක්මණින් යොමුවීම ඉතා වැදගත්.

ඒ වගේ ම මතක තියාගන්න සමේ තෙතමනය පවත්වාගන්න හිතේ තෙතමනයත් හරිහරියට පවත්වාගන්න ඕනෙමයි. නිතර නිතර තරහ යන, ඉවසීම අඩු, ආවේගශීලීව හැසිරෙන, ඉරිසියාව, නපුරුකම හිතේ තෙරපෙන අයට බාහිරින් ලබාදෙන රූපලාවන්‍ය ප්‍රතිකාරවලින් විතරක් සම පැහැපත් කරගන්න අපහසුයි. හදවතේ සැහැල්ලුව සතුට නිරන්තරයෙන් පවත්වාගන්න. හිතේ තෙතමනය නිසා සිරුරේ රුධිර ගමනාගමනය ක්‍රමවත්ව සිදුවෙනවා. ඒත් එක්ක ම ඔබේ සම පැහැපත් ව නිරෝගීව බැබළෙන්න පටන් ගන්නවා.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles