බඳින්න හදිස්සි ද? මේ ගැනත් හිතන්න…

0
7320

නීතිය නොදැනීම හෝ ඒ ගැන වැඩිපුර ගනන් නොගැනීම හේතුවෙන් බොහෝ කාන්තාවන් තමන්ගේ විවාහය හා දේපළ ආශ්‍රිත ව වංචනික ක්‍රියාකලාපයන්ට හසුවී අසරණ වන අවස්ථා ගැන පුවත්පත්වල ඕනෑතරම් සිදුවීම් අසන්නට ලැබෙනවා.

ඉක්මන් තීරණවලට ආයුෂ කෙටියි

කවර හෝ හේතුවක් නිසා විවාහය ප්‍රමාද වී සමාජ පීඩනයෙන් වැළකීමේ අපේක්ෂාවෙන් කල්ගත වී විවාහ වන කාන්තාවන් මේ ආශ්‍රිත ගැටළුවලට මුහුණ දෙන අවස්ථා බහුලයි. සමහර කාන්තාවන් ඉතා ඉක්මන් තීරණ මත සහකරු තෝරාගැනීමට යාමෙනුත් වංචනික පුද්ගලයන්ට හසුවී ජීවිතය ව්‍යාකූල කරගන්නා අවස්ථා බොහෝයි. කෙටිකාලීනව ගොඩනැඟෙන ප්‍රේමසම්බන්ධතාවකින් අනතුරුව කරුණු සොයා නොබලා ඇතැම් අඩුවයස් තරුණියන් සිදුකරගන්නා විවාහවල දෙදරායාම්වලට ලක්වන අවස්ථාව වනතුරුත් ඇතැම් වංචනික පුද්ගලයන්ගේ සැබෑ ස්වරූපය හඳුනාගත නොහැකියි. මේ අයවලුන් අතර ඇතැම් පුරුෂයින් වරක් හෝ කිහිප වරක් විවාහ වී දරුවන් සිටින, නීත්‍යෘනුකූල ව පෙර විවාහවලින් වෙන් වී නොමැති, දික්කසාද වූ එහෙත් ඒ බව වංචනික ලෙස සැඟවූ, දරුවන් සිටින එහෙත් ඒ බව සැඟවූ, තවත් ප්‍රේම සම්බන්ධතා හෝ විවාහ සම්බනධතා කිහිපයක් එකවර පවත්වාගෙන යන, කාන්තාවගේ දේපළ, ඉඩකඩම් හෝ රන අභරණ සහ මුදල් ඉතා සියුම් ලෙස ඩැහැගැනීම වෙනුවෙන් තාවකාලික විවාහ සම්බන්ධතා ගොඩනඟාගත් අය අතිවිශාල පිරිසක් සිටිනවා.  තමන්ගේ ස්වාමියා තමන්ට සිදුකරන්නේ වංචාවක් යන්න බිරිඳට අවබෝධ වන විට බොහෝ කාන්තාවන් තමන්ගේ ජීවිතයට, දේපළවලට, මිලමුදල්වලට, සමාජ සම්බන්ධතාවලට විශාල ලෙස හානි පමුණුවාගෙන අවසානයි.

බොරු කසාද කරගන්නා හොරු

නීතිආධාර කොමිසමට ගොස් මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් කාන්තාවන් කරන පැමිණිලි තුළ බහුලවම අන්තර්ගත වන කරුණ වී ඇත්තේ, අදාළ පිරිමි පාර්ශවයේ පුද්ගලයාගේ නෑයින් දෙමව්පියන් හිතමිතුරන් මේ විවාහයට අකමැති බව පවසා සාක්ෂියට හෝ කිසිවෙක් එම පාර්ශවයෙන් ඉදිරිපත් නොකොට මෙවැනි විවාහ සිදුකරගෙන ඇති බවයි. විවාහ රෙජිස්ටාර්වරුන් ලෙස කැඳවාගෙන එන ව්‍යාජ පුද්ගලයන් ඉදිරියේ මෙවැනි විවාහ ලියාපදිංචි කරවීමට ද වංචනික පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් කටයුතු කරන බව මෙම පැමිණිලි හරහා තහවුරු වී තිබෙනවා. මෙවැනි වංචනික විවාහයකය දීත් නීත්‍යානූකූල යැයි බැලූ බැල්මට පෙනෙන අන්දමේ විවාහ සහතිකයක් නීතිය ඉදිරියේ මෙම ව්‍යාජ සහතික සඳහා කිසිදු සහනයක් ලබාදීමට හැකියාවක් නැහැ. මෙවැනි විවාහයක දී කාන්තාවකට විවාහයෙන් ලැබෙන නීත්‍යානූකූල අයිතිවාසිකම් කිසිවක් හිමිවන්නේ නැහැ. ඒවගේ ම මෙවැනි තත්වයක දී පුරුෂයාගෙන් නඩත්තු ලබාගැනීමේ අයිතිය, පුරුෂයා මියයාමෙන් පසු විශ්‍රාම වැටුප හෝ මියගිය පුරුෂයාගේ දේපළවලට කිසිදු අයිතියක් ඇයට හිමිවන්නේ නැහැ.

වන්දි ගන්න විදිය

තමන් වංචනික විවාහයකට ඇතුළත් ව ඇති බව දැනගැනීමෙන් පසු කාන්තාවකට කළ හැකි එක දෙයක් තිබෙනවා. අදාළ පුරුෂයාගේ බහු විවාහය පිළිබඳ පොලිසියට පැමිණිල්ලක් කර මහේස්ත්‍රාත් අධිකරණයක නඩුවක් පවරා බහුවිවාහ වරදට වරදකරුවකු කොට දඩුවම් ලබාදිය හැකියි. එමෙන් ම එහි දී වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක් දක්වා වන්දියක් ද ලබාගත හැකියි. වැඩි මුදලක් වන්දි ලෙස ලබාගැනීමට අවශ්‍ය නම් දිසා අධිකරණයක සිවිල්  වන්දි නඩුවක් පවරා පුරුෂයා තමන්ට සිදුකළ වංචාව මත ඇති වූ චිත්ත පීඩාව, සමාජයීය අවමානය, ජීවිතයේ වටිනාකම අඩුවීම වැනි කරුණු පදනම් කරගෙන වන්දියක් ලබාගැනීමටත් එවැනි කාන්තාවකට ක්‍රියාත්මක විය හැකියි. එවැනි වංචනික පුද්ගලයෙකුට දාව දරුවකු පිළිසිඳගෙන තිබුණොත් දරුවා ඉපදීමෙන් පසු  එකී දරුවා වෙනුවෙන් අදාළ පුරුෂයාගෙන් නඩත්තු මුදලක් ලබාගැනීමේ අයිතිය ද පවතිනවා.

කාන්තාවක් වංචනික විවාහයකට ඇතුළත්ව ඇති බව දැනගත්විට තවදුරටත් කල්ගත නොකොට හැකි ඉක්මණින් ම නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් සුදුසුයි. වංචාව පිළිබඳ දැන දැනත් බොහෝකලක් පීඩා විඳිමින දරුවන් ද ලැබීමෙන් පසු මෙවැනි නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමේ දී නීතියෙන් ලබාගත හැකි ප්‍රතිකර්ම සීමිතයි.

නීතියේ සීමාව

යම් කාන්තාවක් තම පුරුෂයා විවාහකයෙකු බව දැන දැන ම ඔහු විසින් දික්කසාදවීමෙන් අනතුරුව විවාහ කරගන්නා බවට ලබා දෙන පොරොන්දු මත  ලිංගික සම්බන්ධතා පවත්වා පසුව ඔහු ඇය හැරයාමක දී නීතියේ පිහිට ලබාගත හැක්කේ ඇගේ වයස අපුරුදු 16ට වැඩිනම් සහ වලංගු ලිඛිත පොරොන්දුවක් තිබේනම් පමණි. එහෙත් විවාහකයෙකු දෙන විවාහ පොරොන්දු නීතිය ඉදිරියේ බලාත්මක කළ නොහැක. එවැනි කාන්තාවකට පවතින්නේ තමාට දුන් විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධ ව සිවිල් නඩුවක් පවරා සිදුවූ අලාභයන්ට වන්දි ලබාගැනීමේ හැකියාව  පමණයි. වයස අවුරුදු 18ට වැඩි කාන්තාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව ලිංගික සම්බන්ධතා පවත්වා ඇය අත්හැර දැමීම රටේ අපරාධ නීතිය අනුව වරදක් නොවන නිසා එවැනි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට  හෝ අපරාධ චෝදනා නැඟීමට පොලිසියට නීත්‍යානූකූල බලයක් නැහැ. පොලිසිය මෙවැනි අවස්ථාවක සිදුකරන්නේ කාන්තාවගේ ප්‍රකාශ සටහන් කරගැනීම සහ පුරුෂයාගේ කටඋත්තරය සටහන් කරගැනීම පමණයි. මේ නිසා විවාහය සම්බන්ධ ව නීතිමය පසුබිම අවබෝධ කරගනිමින් විවාහ ජීවිතයට පිවිසීම අවිවාහක හැම කාන්තාවක් ම හොඳින් අවධාරණය කරගත යුතුයි. විවාහක කාන්තාවන්ටත් මේ සම්බන්ධ නීති හොඳින් දැන සිටීම ඉදිරි ජීවිතයේ එළඹෙන ගැටළු අවම කරගැනීමට  අතිශයින් වැදගත් වන බව නිසැකයි.

(නීති ආධාර කොමිසන් සභාවේ නීතීඥ සජීවනී අබේකෝන් මහත්මිය විසින් රූකළණ මාසික සඟරාවට ලබා දී ඇති තොරතුරු ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි)