ආහාර රසවත් කරන විවිධ සෝස් වර්ග ගැන දන්නවා ද?

ආහාර රස ගැන්වීමට සඳහා යොදා ගන්නා රසකාරකයන් අතර සෝස් වලට හිමි වනුයේ ප්‍රධාන තැනකි. සෝස් (sauce), විවිධ තාලයේ ආහාර සැකසීමේ දී, පිසීමේ දී, සහ අනෙකුත් ආහාර පිළි ගැන්වීම සඳහා භාවිතා කරන ලද දියර, ක්‍රීම් හෝ අර්ධ ඝන ආහාරයක් ලෙස සැලකේ. ගුණාත්මක බව සහ රසය අනුව සෝස් එකෙන් සෝස් එකට වෙනස් වේ.

මස්, මාළු යොදා සකසන මාංසමය සෝස් මෙන්ම එළවළු වර්ග යොදා සකසන නිර්මාංසමය සෝස් වර්ග ද තිබේ.  බොහොමයක් පලතුරු වර්ග සෝස් වර්ග සෑදීමට යොදා ගැනේ. සැරැති සෝස් වර්ග මෙන්ම පැණි රසැති ස්වීට් සෝස් වර්ග ද ඇත. අතුරුපස සඳහා යොදා ගැනෙන විශේෂ සෝස් වර්ග ද වේ. ලෝකයේ සෝස් වර්ග ගණනාවක්ම ඇතත් අපේ රටේ බෙහෙවින් ජනප්‍රිය නිතරම පාහේ ප්‍රයෝජනයට ගන්නා මුළුතැන්ගෙයි අනිවාර්යයෙන්ම වාගේ ඇති සෝස්වර්ග –

තක්කාලි සෝස් (Tomato sauce ) – සෝස් වර්ග අතරින් පෙරමුණේම සිටින තක්කාලි සෝස් සඳහා රතු තක්කාලි, සීනි, විනාකිරි, මිරිස් කුඩු, ලුනු, සුදුලූනු, ඉඟුරු හා කෝන්පිටි එක් කර සැකසේ.  තක්කාලි සෝස් සහ ටොමාටෝ කෙචප් (tomato ketchup) හි වෙනස බොහෝදෙනකුට ගැටලුවකි. කෙචප් බෙහෙවින්ම උකුවන අතර සෝස්වල කෙචප්වලට සාපේක්ෂව දියරමය ස්වභාවයෙන් වැඩිය.

සෝයා සෝස් (Soy sauce) – ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රචලිත මෙය  මුළුතැන්ගෙයි බොහෝවිට දක්නට ලැබෙන්නකි. උකු ගතිය අවම දියර ගතිය වැඩි සෝයා සෝස් සඳහා සෝයා බෝංචි, පාන් පිටි, ලුණු, වතුර එක්කොට සාදයි.

චිලී සෝස් (Chili sauce) – මෙය ග්‍රීන් චිලී සහ රෙඩ් චිලී මෙන්ම ස්වීට් ඇන්ඩ් සවර් ලෙසද ඇත. මිරිස්, තත්කාලි, ගම්මිරිස්, රතු ළූණු, සුදු ළූණු, ඉඟුරු, ස්ටොක් වතුර, විනාකිරි, මාගරින්, පාන්පිටි ආදිය යොදා සකසනු ලැබේ.

ඔයිසටර් සෝස් (Oyster sauce) – බෙල්ලන් සාරය යොදා සකසන ඉතා ඝණ, දුඹුරු පැහැති සෝස් එකක් වන අතර දැවිලි ගතියක් හා ලුණු රසක් ඇත. ඔයිස්ටර් බිම්මල් යොදා සකසන නිර්මාංස සෝස්වර්ග ද තිබේ.

ෆිෂ් සෝස් (Fish sauce) – අග්නිදිග හා නැගෙනහිර ආසියාව තුළ විවිධ ආහාර වර්ග සඳහා භාවිතා වේ. ටූනා, මැකරල්, ආඳා වැනි මාළු උපයෝගි කරගෙන සකසන ෆිෂ් සෝස් මාළු, ඉස්සෝ, කුකුළු මස්, ඌරු මස් සකසද්දී යොදයි.

බාබක්‍යු සෝස් (Barbecue sauce) –  තක්කාලි පියුරි, සිනි, ලුණු, විනාකිරි, සුදු ළූණු පවුඩර්, සෝයා බෝංචි තෙල් යොදා සාදන අතර එළවළු, ඌරු මස්, හරක් මස් පෙති සහ කුකුළු මස් ඇතුළු බාබක්‍යු ආහාර පිසීම සඳහා රසකාරක සෝස් වර්ගයක් ලෙස යොදා ගැනේ.

ස්වීට් චිලී සෝස් (Sweet chili sauce) – වතුර, සීනි, ලුණු, විනාකිරි, සුදු ළූණු, ඉඟුරු, මිරිස් යොදා ස්විට් චිලී සෝස් සැකසෙන අතර තායි, ඇෆ්ගන්, මැලේසියානු සහ බටහිර ආහාර සඳහා යොදා ගැනේ.

සෝස් වර්ග බෝතල්, කෑන්, පැකට් ලෙස වෙළෙඳපොළෙන් ලබා ගත හැකි නමුත් නිවසේදීම ඉතාම පිරිසුදුවට පිළියෙල කරගත හැක. බොහෝ සෝස්වල විටමින් සහ ප්‍රෝටීන් සංයුතිය ඉතා ඉහළය. නමුත් සෝස්වල පෝෂණයට වඩා රසය ඉදිරියෙන් සිටියි. එසේම කෙටි ආහාර රසවත් කරනා සෝස්වලට ඇබ්බැහිවිම නම් සෞඛ්‍යමය අතින් එතරම් යහපත් වන්නේ නැත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles