විනාශයක් නොවිය යුතු විශාදය

සයිබරය කැළඹූ ජනප්‍රිය ගායකයෙකු සම්බන්ධ ගැටලුවක් හරහා විශාදය පිළිබඳ නව කතිකාවක් නැවත කරලියට පැමිණ ඇති බව ඔබ දකින්නට ඇති.

ජීවිතයේ සමහර කාල වලදී අපට ලැබෙන්නේ ප්‍රබල ඇද වැටීම් හා අහිමි වීම් පමණයි. ඒවා දරා ගන්නට නොහැකි වූ තැන අප නතර වන්නේ depression හෙවත් විශාදයෙන්.

මොළයේ රසායනික වෙනස් වීම් නිසා විශාදය හට ගන්නා වග වෛද්‍ය මතය යි. අපේ රට තුළ නම් ප්‍රේමයෙන් පරාජිතව රැවටීමට ලක්වීම, නවක වදයට බඳුන් වීම, දැඩි අධ්‍යාපනික තරඟය, රැකියා ස්ථානයේ ප්‍රශ්න, දරු ඵල ප්‍රමාදය හෝ අහිමිවීම, දික්කසාදය,විවාහයෙන් පසු රැකියාව හා නිවස සමබර කරගත නොහැකි වීම, ලිංගික ගැටලු වැනි බාහිර ලක්ෂණ කාන්තාවන් පහසුවෙන් විශාදය කෙරෙහි යොමු කරන වග අමතක නොකරන්න.

තාක්ෂණයේ දියුණුව සමඟ කාන්තාවන් අන්තර්ජාලයට බොහෝ සමීප වීම සාමාන්‍ය කරුණක්.එහෙත් අන්තර්ජාලයට අධිකව ඇබ්බැහි වීම නැවතෙන්නේ ඔබව විශාදයට ගොදුරුකිරීමෙන් විය හැකියි. සමාජ මාධ්‍යයට ඇබ්බැහි වීමෙදී එය වඩා ඵලදායි ලෙස හැසිරවිය යුත්තේ එනිසා යි.

  • එපා වූ ස්වභාවය
  • දුකින් සිටීම
  • කෙළිලොල් චරිතයක් හදිසියේම මුළුගැන්වූ කෙනෙකු වගට පත් වීම
  • නුරුස්නා ස්වභාවය හා අධික කෝපය
  • නින්ද නොයාම හෝ නිදා ගැනීමේ කාලසටහන අක්‍රමවත් වීම
  • මන්දගාමී ස්වභාවය

මේ රෝගයේ රෝග ලක්ෂණ යි.

දරුවෙකු ලැබීමට පෙර පූර්ව ප්‍රසව විශාදයත්, දරුවා ලැබීමෙන් පසු පසු ප්‍රසව විශාදයත් කාන්තාවන් පහසුවෙන් ගොදුරු වෙන රෝග ලෙස හැඳින්වීමට හැකියි. වැඩ අධික බොහෝ වෙලාවට “මං ඩිප්‍රෙස් වෙලා” යැයි පැවසීම කාන්තාවන් අතර විලාසිතාවක් බවට පත්වී හමාරයි. එහෙත් ඒ ඔබ හදිසි ආතතියට පත් වීම මිස විශාදය නොවේ.

මේ රෝගය සරල සැහැල්ලු ලෙස ගත නොහැකි බව සිහි තබා ගන්න. මූලික අවදියේම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වන්නේ නම් මාස හයක්, නවයක් අතර කාලයකදී සුව වීමට හැකි ඉඩ ඉතා වැඩියි. නමුත් දෙවෙනි, තුන් වෙනි වාරයකදී මෙයට ගොදුරු වන්නේ නම් ප්‍රතිකාර නැවතීම හා ඔබේ සුව වීම තීරණය ඇත්තේ වෛද්‍යවරයකු මත පමණයි.

විශාදයට ලක් වූ බොහෝ දෙනා දිවි නසා ගන්නට පවා උත්සාහ දරනවා. එනිසා කිසිසේත් මේ රෝග ලක්ෂණ ඔබට හෝ සමීප අයෙකුට ඇති වග හැඟේ නම් ප්‍රතිකාර ලැබීම ප්‍රමාද කරන්නට එපා.

විශාදයෙන් පෙළෙන විට ඔබ අලස කොන් වූ චරිතයක් බවට පත් වීමේ ඉඩ වැඩියි .කුඩා විනෝද චාරිකාවක්, සාප්පු සවාරියක් පවා මේ සිතුවිලි වලින් ඔබ ඈත් කරන බව සිහි තබා ගන්න.රෝගයට ඔබ කරා ළඟා නොහැකි වෙන්නට ඔබේම විනෝදාංශ නිර්මාණය කර ගන්න. ඔබ මේ රෝගයට ලක් වී ඇත්නම් ඔබේ ගැලවුම ඔබම නිර්මාණය කර ගන්න.විශාල ඉලක්ක උමතුවෙන් හඹා නොගොස් කුඩා ඉලක්ක ඇති කරගෙන ඒවා ඉටු කරගන්න.සමහර විට ඒ රෝගය ඔබේ ජීවිතයේ සන්ධිස්ථානයක් විය හැකියි. සන්සුන් වී ඔබ තුළ සිටින නිවැරදිම චරිතය මතුවීමට ඉඩ දෙන්න.ලෝකයට අවශ්‍ය ලෙස ජීවත් වීම නවතා සන්සුන්ව සුව වීම ගැන පමණක් සිතන්න.

කඩා වැටීමක් යනු දිනුමක ඇරඹුමක්. ලෝ ප්‍රකට ලේඛිකාවක් වන ජේ.කේ.රෝලින්ග් පවා විශාදයෙන් පීඩා විඳි ගැහැණියක්.

විශාදයට විනාශයක් වන්නට කිසිම විටෙක ඉඩ තබන්න එපා.ජීවිතය ඇත්තේ පලා යාමට නොවෙයි. සටන් කරමින් ජය ලැබීමට වග නිතර සිහි තබා ගන්න.

තොරතුරු ලබා දීම- වෛද්‍ය තිළිණ පෙරේරා.

-නිබන්ධිකා වන්නිනායක-

Related Articles

Don't Miss


Latest Articles