මේ අහගන්න මෙ‍නෙවිය!

0
1883

Creative You විශේෂාංගය වෙන්වන්නේ ඔබේ නිර්මාණ අත්දැකීම් අපි එක්ක බෙදාගන්න ගමන් ම ඔබේ රසවින්දන ශක්තිය වැඩිදියුණු කරගන්න යම් කිසි අත්වැලක් ඔබට ලබාදෙන අරමුණින්…

එදිනෙදා ජීවිතයේ දහසකුත් වැඩ රාජකාරී එක්ක කාර්යබහුල වීම නිසාම රසවින්දනය පිළිබඳ අත්දැකීම්වලින් සමහරවිට ඔබ තරමක් ඈත් වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබේ වින්දනීය අත්දැකීම් බෙදාගන්න කෙනෙක් නැතිකම නිසා හිත ඇතුළෙ ඉපදිලා හිත ඇතුළෙම නැතිවෙලා යන නිර්මාණ ශක්තියක් ඔබ ළඟත් තියෙනවා ඇති. ඉතින් ඒ යටපත් වුණ නිර්මාණ හැකියාවට අලුත් ජීවයක් ලබාදෙන්න අපි සූදානම්.

ඔබට ලියවුණ කවි, ගීත, ‍පුංචි පුංචි අත්දැකීම්, ජනප්‍රිය ගීත ගැන ඔබේ රසාස්වාදනයන් අපට ලියා එවන්න. Smart Lady අඩවියේ Creative You විශේෂාංගයෙන් ඔබේ නිර්මාණයටත් පුංචි ඉඩක් ලබාදෙන්න අපි සූදානම්. ඒ වගේම මාසයකට වරක් ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය තෝරලා පුංචි තිළිණයක් ලබාදෙන්නත් අපි සූදානම්.

ඔබේ රසවින්දනයට අපි මෙවර ඉදිරිපත් කරන්නේ නව පරපුරේ කිවිඳියක් වන යශෝධා සම්මානි (ඇය කවි ලියන්නේ බස්සි නමින්) ඇගේ මිතුරියකට ලියා යැවූ කවි පෙළක්. ඇය තමන්ගේ මිතුරියට මෙහි දී අවවාද ටිකක් දෙනවා, තමන්ගේ ජීවන ගමන යා යුතු ආකාරය ගැන. ඇය කේලම් හඳුන්වන්නේ වසුරු හැටියට. කන් කෙඳිරිලි හඳුන්වන්නේ කුණු හැටියට. මේ කුණු, වසුරු පාගගන්නේ නැතිව ගමන්කරන්න කාන්තාවක් හැටියට ඔබ ශක්තිමත් විය යුතුයි. එඩිතරකම කියන්නේ එයටයි. ඔබට හමුවන ගිනිකඳු, හිම කඳු, සදාහරිත වනපෙත්, සදාකල් රැලි නංවන මහා ගංගා අතරින් ඔබේ තේරීම කුමක්ද? තේරීමේ තීරකයා වෙනින් කවුරුවත් නෙමෙයි ඔබමයි. යශෝධා මේ සියල්ල ඇගේ නිර්මාණයේ එක් කර ඇති අයුරු දැන් අපි රසවිඳිමු.

මේ අහගන්න මෙනෙවිය
තමන්ටම කියා යමක් ගන්නකොට
ගිනි කන්දක්ද – හිම කන්දක්ද
සදාහරිත වනපෙතක්ද
සදාකල් රැලි සරැලි නංවන, මහා ගංගාවක්ද
හොයා බලනෙක තම තමන්ගෙ යුතුකම!

තුරක අත්තක එල්ලෙන්න
වැලක් වාගේ ඉහ නමා බත් තම්බන්න
බරසාර උපදේස දෙයි පරඬැල් පත්‍ර

තඹේකට
මම කියන්නේ ‘තඹේකට’ මායිම් නොකරන්න!

තැලි බැන්ද – මුදු ඇන්ද 
‘මිසිස්’ සූටික්කන් දැකීමෙන් 
ඇසෙහි විස ගඩු පිපිරෙන
හිසෙහි ගින්දර ඇවිලෙන
හෙනා දියවී නළල දෙපසින් වැගිරෙන
කෙහෙ ඉදුනු බටිති මෙනෙවියන් වෙති
‘ආදරේ ගින්දර’ ගැන තුඩග මතුරන

දණිස්සෙන්
මම කියන්නේ ‘දණිස්සෙන්’ උඩට මායිම් නොකරන්න!

“කොච්චරක් ඉගෙනගත්තත් – ගෙදර වැඩ නොදත්තොත් පලක් නැත.
කප්පරක් හොදි ඉව්වත් – මොලේ කළඳක් නැතිවුනෝතින් ඇපත් නැත.
සක්කරය කිව්වත් – හිතේ සැනසුම සතුට ළඟ ජීවිතේ ඇත.
අන්න ඒ ටික හිතට ගත්තොත් කොතනවත් වරදින්නෙ නැත”

මේ අහගන්න මෙනෙවිය
තමන්ටම කියා යම් දෙයක් අරගන්නකොට,
හොයා බලනෙක තම තමන්ගෙ 
යුතුකම!

අතර මග කටු පඳුරු, ගල් කුළු
වසුරු, කේලම්, කෙඳිරි සහ කුණු
පාග ගන්නේ නැතිව තමන්ගෙ ගමන යන එක
අන්න ඒකට කියන්නේ 
“එඩිතරකම”!!

– බස්සි –

නිර්මාණ එවිය යුතු ලිපිනය : creativeyou@smartlady.lk