පතිනියකගේ සටහන්- 4

බොහෝ වාරයක් වැරදුණු වාර්තා සහිත පරිගණක තිරය දිහා බලාගෙන තව දුරටත් ඉන්න බැරි බව මම දන්නවා. හැඬිය යුතුම වුණත් කාර්යාලය තුළ අඬන්න මට හිතක් නෑ. මම භානුකට ඇමතුමක් ගත්තේ හිත බොහෝ රිදෙන නිසා.

දුරකථනයෙන් ප්‍රතිචාරයක් නැහැ!!

මේ ලෝකයේ කේලම් කියලා දෙයක් තිබෙන බව ඇත්ත. නමුත් මේ කේලමකට එහා ගිය දෙයක් වෙන්නම බැරිද??

“භානුක එළියට ගිහින්” ඔහුගේ කාර්යාලීය දුරකථනය කියන්නේ එහෙම කතාවක්.

භානුකගේ කාර්යාලයට ඔහුව සොයාගෙන යන්න, මගේ අම්මාට හෝ භානුකගේ අම්මාට දුරකථන ඇමතුමක් ගන්න මට හිතෙන දේවල් අහස උසට !!

“මිසිස් විජේරත්න. භානුකට ඔෆිස් එකේ හංසිකා එක්ක සම්බන්ධයක් තියෙනවා. ඔයාට පුලුවන් මේ වෙලාවේ මේ තැනට ගියොත් අතටම අල්ලා ගන්න.”

ෆේස්බුක් මැසේන්ජර් වෙත ආව පණිවිඩයක්.

ෆේක් ප්‍රොෆයිල් එකකින් ආව ෆොටෝ එකක් වුණත් භානුක තවත් ගැහැණු ළමයෙකු සමඟ ඇඳුම් තෝරන හැටි බලා ඉන්න තරම් මම ශක්තිමත් නැති බව මට තේරෙනවා.

බොහෝ වෙලාවක් උත්සාහ කිරීමෙන් පස්සෙ භානුක දුරකථනය වෙත ආවත් ඒ හඬේ ආදරයක් නැති බවත් ඔහු කලබලයෙන් බවත් මට තේරෙනවා.

“මං තියන්නම් තාරූ.. වැඩ ගොඩක් තියනවා.. “

මට උවමනා ගෙදර යන්න. භානුකගෙත් මගෙත් ගෙදර නෙවෙයි. මගේ අම්මාත් තාත්තාත් ඉන්න ගෙදරට. දික්කසාදය ලබා ගන්නට අවශ්‍ය බව තාත්තාට කිව යුතුමයි.

“තාරු, කොහෙහරි යන්නද.. ” බෑගය අසුරන මං ළඟට ආවේ තරිඳු. තරිඳුට මුලු කතාවම කියන්න හිතුණත් පිට අය පිට අයම නෙවෙයිද?

“පොඩ්ඩක් ඉන්නකො ගෙදර යන්න හදන්නෙ. ලන්ච් රූම් එක පැත්තට ගිහින් තේ එකක් බීවොත් කොහොමද”

අවස්ථානුකූලව ගැහැණුන්ට ළං වෙන්න උත්සාහ කරන පිරිමින් ගැන කතා මගේ හොඳම මිතුරෙකු ගැන හිතමින්මයි මම තරිඳු එක්ක ලන්ච් රූම් එකට ගියේ.

භානුක එතන!!

කේක් එකක් , මල් කළඹක්, තෑගි පාර්සලයක්.

භානුක සමඟ හිනැහෙන මගේ කාර්යාලීය මිතුරන් අතරේ ඉන්න නාඳුනන යුවතිය කේලම්කාර ෆේස්බුක් පණිවිඩ අතර තිබූ සේයාරුවේ ඉන්න කෙනා බව මට හඳුනා ගන්න පුලුවන්.

“මේ හංසි.. මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්. භානුක ඔයාට ලෑස්ති කරපු සර්ප්‍රයිස් පාටි එකේ ක්‍රෙඩිට්ස් ඔක්කොම මෙයාට. හැබැයි ඉතින් හංසි තෝරපු දේවල් වලට තාරුකා කැමති වුණොත් තමයි”

අපේ ආදරයේ හතරවෙනි සංවත්සරය අමතක වීම සමාව දිය හැකි වරදක් වෙන්න පුලුවනි. ඒත් නාඳුනන කේලම්කාරයෙක් නිසා භානු ගැන සැක කරපු මගේ හිත ගැන මට ලැජ්ජා හිතෙන වෙලාවක් මේ. කේලම් කාරයා කියපු තැනට ගිහින් කලබලයක් ඇති කරානම් අපහසුවට පත් වෙන්නේ මගේ හොඳම මිතුරාගේ පෙම්වතිය නෙවෙයි ද?

මේ කේලම්කාර මිනිස්සු මොන තරම් නරකද??

“ඕවා හිතන්නවත් ඕන දේවල් නෙවෙයි තාරු. තව කෙනෙක්ගෙ සතුට නැති කරන්න හදන අය තමයි අද වැඩිපුරම ඉන්නෙ.කලබල වෙනවට වඩා ඒ වෙලාවෙදි කරන්න ඕන හොඳම දේ සන්සුන් වෙන එක”

භානුකගේ හිනාවට එකතු නොවී මම වෙන මොනවා කරන්නද?

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles