මුළුතැන්ගෙයි උපකරණ නිවැරදිව භාවිතා කරන්නේ මෙහෙමයි

කාන්තාවක් නිවසේ වැඩිපුරම රැඳෙන ස්ථානය වෙන්නේ මුළුතැන්ගෙය. ඔබ වඩාත් පිළිවෙළට හා පිරිසිදුව තබා ගත යුතු ස්ථානය වන්නේත් මුළුතැන්ගෙය. ඔබේ නිවසේ පිරිසිදුකම සම්පූර්ණයෙන් මැනෙන්නේ ඔබ මුළුතැන්ගෙය පවත්වා ගන්නා ආකාරයෙන්. ඔබට වඩාත් පිරිසිදුව හා අරපිරිමැස්මෙන් මුළුතැන්ගෙයි භාණ්ඩ පවත්වා ගෙන යන්න උදව් දෙන smart tips කිහිපයක් ගැන මේ ලිපියෙන් දැන ගන්න හැකි වේවි.

1. පිහි – මස් කැපීම, එළවළු කැපීම, පාන් කැපීම ලෙස විවිධ කාර්යයන් සඳහා පිහි කිහිපයක් තබා ගන්න. භාවිතයෙන් පසු හොඳින් සෝදා පිසදා තබන්න. ඒ වගේම cutting board එකත් පිහියේ මුවහතට බලපෑම් ඇති කරනවා. ඝන ප්ලාස්ටික් හෝ ලී cutting board එකක් භාවිතා කිරීම පිහිය මොට නොවීමට හේතුවක්.

2. අවන් එක – අවන් එක රත් වෙන උපකරණයක් නිසා තාපය මුදා හරින්න තරමක ඉඩක් අවශ්‍යයි. නිසි ලෙස තාපය පිට නොවීම අවන් එකේ ක්‍රියාකාරිත්වයට අහිතකර වෙන්න පුලුවන්. අනිත් කාරණය අවන් එක භාවිතා නොකරන අවස්ථාවල ඒ තුළ විවිධ දේවල් ගබඩා කරන්න එපා. අවන් එක පිරිසිදු කිරීමත් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්. බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍රණය ක් මඟින් ඔබට අවන් එක පිරිසිදු කර ගන්න පුලුවන්. දොරේ රබර් ගැස්කට් එක පලුදු වීම් ඇත්නම් ඒවා අලුත්වැඩියා කරගන්න. ඔබට අවන් එක ඇමෝනියා භාවිතයෙන් පිරිසිදු කර ගැනීමටත් හැකියාව තිබෙනවා. 200°c ට අවන් එක රත් කර සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කරන්න. ඉන්පසු භාජනයක ඇමෝනියා තබා එය අවන් එක මැදින් තියන්න. එයට පහළින් උණු වතුර පිරුණු භාජනයක් තබන්න. මෙය රැයක් පුරා තැබීම අවශ්‍ය වෙනවා.

3. බ්ලෙන්ඩරය -හැම විටම බ්ලෙන්ඩරයට දරා ගැනීමට හැකි ප්‍රමාණ පමණක් දමන්න. දුම් දමන තරම් රස්නය ඇති දේ බ්ලෙන්ඩ් කිරීමෙන් මෝටරයට හා බ්ලෙන්ඩරයේ රබර් බුශ් එකට හානි වෙන්න පුළුවන්. එක් වරම ඔන් කර එක දිගට බ්ලෙන්ඩ් කිරීමත් වැරදියි. නතර කරමින් තප්පර කීපයක විවේකයක් ඇතුව බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩර් එකේ සහ ග්‍රයින්ඩර් එකේ තලය සහිත කොටස වෙනම ගලවා පිරිසිදු කරන්න. තල හරි හැටි පිරිසිදු නොවුණු විට ඉක්මණින් මුවහත නැති වී යනවා. බ්ලෙන්ඩර් එකේ දැති ටික කැරකීම නතර වෙනතෙක් කප් එක ඉවත් කරන්න එපා. සමහර බ්ලෙන්ඩර් වල වේගය පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. බ්ලෙන්ඩරයක් ක්‍රියාත්මක කළ හැටියේම ඉතා දැඩි වේගයකින් මිශ්‍ර වීමට දෙන්න එපා.

4. ශීතකරණය – හිරු එළියට මුළුමනින්ම නිරාවරණය නොවෙන තැනක් අවන් එක හා ගෑස් කුකර් එකට ඈතින් ශීතකරණය තබන්න. ශීතකරණයක කල් පැවැත්මට එහි පිරිසිදුකම බොහෝ බලපෑම් ඇති කරනවා. දොරෙහි ඇති රබර් ගැස්කට් වල ඇති පුස් සහ කුණු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් පෙඟවූ රෙද්දකින් අතුල්ලා ඉවත් කරගන්න පුළුවන්. සමහර ශීතකරණ වල පිටුපස ජලය එකතු වීමට කුඩා ප්ලාස්ටික් බඳුනක් තිබෙනවා. එය උතුරා යෑමට කලින් පිරිසිදු කර ගන්න. ඒ වගේම ශීතකරණයට දැරිය හැකි තරම් බරට වඩා භාණ්ඩ අසුරන්න එපා.

5. රයිස් කුකර් එක – රයිස් කුකර් එක ක්‍රියාත්මක කරන්නට පෙර භාජනයේ පිටත වතුර ඇත්නම් පිසදමන්න.එළවලු තැම්බීම, සුප් සෑදීම,ආදිය රයිස් කුකර් එක භාවිතා කර සිදු කරනවා නම් ප්‍රවේසම් වෙන්න. සමහරවිට අමුද්‍රව්‍ය කිහිපයක් එක් කිරීමේදි එහි සැකැස්ම සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුලුවන්. සේදීමේදි මුදු ස්පොන්ජ් කැබැල්ලක් භාවිතා කරන්න. අඩිය ඇල්ලූ විට හූරා ඉවත් කරන්න එපා. පෙඟෙන්නට තබා ඉවත් කරගන්න.

6. ටෝස්ටරය – රස්නය නැති තැනක ස්ථානගත කරන්න. භාවිතා නොකරන අවස්ථාවල ගලවා තබන්න. පාන් කුඩු වැටුණ ට්‍රේ එක එළියට අරගෙන සබන්වලින් උණුවතුරින් සෝදන්න. පිටත පිරිසිදු කරද්දී ටෝස්ටරය සම්පූර්ණයෙන් ම නිවෙන්නට හැර මුදු ස්පොන්ජ් කැබැල්ලකින් පිරිසිදු කරන්න.

මේ ඔබ මුළුතැන්ගෙයි නිතර භාවිතා කරන භාණ්ඩ කල් පැවැත්මක් සහිතව භාවිතා කරන්නට උදව්වෙන කුඩා ටිප්ස් කිහිපයක්. සැම විටම කල්පනාකාරී වීම, අරපිරිමැස්ම ගැන හා පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම ඔබේ මුලුතැන්ගෙයි බඩු බාහිරාදිය පමණක් නොව ඔබවත් ආරක්ෂා කරන බව අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles