ඔබේ මංගල උත්සවය සඳහා නිවැරදි රූපලාවණ්‍ය ශිල්පියෙකු තෝරා ගන්නේ මෙහෙමයි

0
1141

ඔබව විවාහ මංගල්‍යයට සුන්දරව හැඩ කිරීමේ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබ තෝරා ගන්නා රූපලාවණ්‍ය ශිල්පියාට. ඔබ මේ තෝරා ගැනීම ඉතා නිවැරදිව කළ යුතුයි. මේ ඒ ගැන යුවතියක් ලෙස ඔබ දැන සිටිය යුතු කාරණා කිහිපයක්.

• රූපලාවණ්‍ය ශිල්පීන් ගැන විස්තර එක් රැස් කරන්න.

ඔබේ මිතුරියන් මනාලියන් ලෙස හැඩ ගැන්වූ රූපලාවණ්‍ය ශිල්පීන්, ෆේස්බුක් පේජ් සහ වෙබ් අඩවි වල ඇති ඡායාරූපවල වඩා සුන්දර ලෙස මනාලියන් හැඩ ගන්වා ඇති ශිල්පීන් ගැන ඔබට අවධානය යොමු කරන්න පුලුවන්. ඔබ වෙඩින් ප්ලෑනර් කෙනෙකු තෝරා ගන්නවා නම් ඒ අය සමඟත් ඔබේ රූපලාවණ්‍ය ශිල්පියා ගැන එකඟතාවයක් ලබා ගන්න ඔබට හැකියි. සෑම විටම ඒ ශිල්පීන් හැඩ ගැන්වූ අය හා සම්බන්ධ වී අදහස් ලබා ගන්න.
ඉන්පසු මේ අයගේ ලැයිස්තුවක් සකසා ගන්න. ඉන්පසු මිල ගණන් විමසන්න. ඔබේ බජට් එකට හා හිතට ගැළපෙනම ශිල්පියා තෝරා ගැනීම පහසු වේවි. ඔබට ගැළපෙන ශිල්පියාව ඉක්මනින්ම වෙන් කරවා ගැනීමත් අත්‍යවශ්‍යයි.

• හැකිතාක් සුහද වෙන්න

ඔබේ රූපලාවණ්‍ය ශිල්පියා සමඟ සුහද වී කටයුතු කිරීම මඟින් ඔබේ අදහස් ඇයට හෝ ඔහුට කියන්නට පහසු වෙනවා. තර්ක කිරීම් වලින් තොරව මිත්‍රශීලි ලෙස ඔබේ උවමනාකම් පවසන්න. ඔබ කැමති සාරි විලාසිතා, මල් සැකසුම්, කණ්ඩායමේ විලාසිතා ආදිය ගැන ඇය සමඟ සාකච්ඡා කරන්න. සාරියක් මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් රූපලාවණ්‍ය ශිල්පියාගේ අනුදැනුම මත ඒවා සිදු කරන්න.
වේලාවක් සකසාගෙන රූපලාවන්‍ය ශිල්පියා ලවා පුහුණු මේකප් එකක් දමා ගැනීමට හැකි නම් එය සිදු කරන්න. කොණ්ඩ මෝස්තරයද අත් හදා බැලීම වැදගත්.

• සාකච්ඡා කරමින් තීරණ ගන්න.

ඒ වගේම ඔබේ නැකැත් වේලාවන් හා ඡායාරූප ශිල්පියාට ඔබ අවශ්‍ය වෙලාව ගැන රූපලාවණ්‍ය ශිල්පියා දැනුවත් කර තබන්න. ඔබ ගොයින් අවේ විලාසිතාවකට මාරු වෙනවා නම් එය ඔබට අවශ්‍ය වෙලාව ,ඔබව හැඩගන්වන්නේ උත්සව ශාලාවේ කාමරයක ද, රූපලාවණ්‍යගාරයේ ද , ඔබේ නිවසේ ද යන්න ගැන එකඟතාවයකට පැමිණිය යුතුමයි.ඒ වගේම දෙවෙනි මනාලියන් හා මල්කුමාරියන්ගේ මිමි ඔබ රැගෙන විත් දෙන්නට එපා. ඒ අයවත් ඔබේ රූපලාවණ්‍ය ශිල්පිනියට කල් තියා මුණ ගස්වන්න.

ඔබ විවාහයට පෙර ලබා ගන්නා සියලු රූපලාවණ්‍ය සත්කාර, හිසකෙස් සැකසුම් ආදිය ඔබේ විවාහයේ හැඩගැන්වීම් කරන ශිල්පියාගෙන්ම ලබා ගැනීම හොඳ දෙයක්. එසේ නොමැති නම් ඔබ මේ ලෙස හිසකෙස් සැකසීමක් සිදුකරන බව, මේ සත්කාර කරන බව පවසා උපදෙස් ලබා ගන්න.

ඔබේ මල් සැකසුම් සිදු කරන්නන්, ඡායාරූප ශිල්පියා, වෙඩින් ප්ලෑනර් කෙනෙකු සිටී නම් ඒ අය රූපලාවණ්‍ය ශිල්පියාට මුණ ගැස්වීමද වැදගත්. සාමුහික තීරණ මඟින් වඩා හොඳ දේවල් ඔබ වෙනුවෙන් කරන්නට ඔවුන්ට හැකි වේවි.

ඔබේ විවාහ මංගල උත්සවයේ ප්‍රධාන තැන හිමි රූපලාවණ්‍ය ශිල්පියාටයි. ඒ තෝරා ගැනීම ඔබේ සහකාරයා තෝරා ගැනීම මෙන්ම කල්පනාකාරීව සිදු කරන්න.

-නිබන්ධිකා-