අවුරුදු කෑම මේසයට කැමති විදියට අලුවා හදමු

පැණි අලුවා සහ සීනි අලුවා

අලුත් අවුරුද්ද ට වැඩි කාලයක් නැහැ. පාසල් නිවාඩුව, උත්සව සමය අපේ හිතට වෙනසක් අරගෙන එනවා. ඒ වෙනස පරිසරයෙත් තියෙනවා. ගස් වැල් මල් පලතුරු වලින් පිරිලා. ජිවිතේ වෙනසක් අත් දකින්නට  අලුත්  අවුරුද්ද ජයටම සමරන්න සුදානම් වන ඔබටයි මේ සුවිශේෂී ලිපි මාලාව …

පැණි අලුවා

අවශ්‍ය දේවල්:

  • හාල් පිටි ග්‍රෑම් 750 ක්
  • කිතුල් පැණි බෝතල් බාගයක්
  • සීනි ග්‍රෑම් 100 ක්
  • කජු ග්‍රැම් 75
  • ලුණු කුඩු තේ හැඳි බාගයක්
  • කුඩුකරගත් කරඳමුන්ගු කරල් 3 ක්

සාදන ක්‍රමය:

හාල් පිටි හොඳින් බැද ගන්න.නොකඩවා හැඳි ගාමින් බැද ගත යුතුයි. පිටි නියම පදමට බැදුනු පසු පිටිවලින් විශේශ සුවඳක් එනවා. ස්වල්පයක් ලිපට දැමූ විට ඉක්මනින් ගිනිගන්නවා. බැදුනු පසු ලිපෙන් බා කැට ඇත්නම් පොඩිකර   පිටි හලාගන්න. ග්‍රෑම් 150 ක් පමණ වෙන් කර තබන්න.

බඳුනකට පැණි සහ සීනි එකතුකර වතුර කෝප්ප හතරෙන් එකක් දමා බුබුලු එනතුරු උතුරුවන්න. මෙම පැණි බඳුනෙන් ටිකක් ගෙන ඇල් වතුර පීරිසියකට දැමූ පසු පැණි ටික විසිරී නොමැති ආකාරයට තිබේ නම් පත් පැණි ආකාරයට පැණි උනු වී තිබෙනවා. ඒ වෙලාවෙදී බඳුන ලිපෙන් ඉවත් කරන්න. පැණි වලින් ටිකක් වෙනත් බඳුනකට දමා තබා ගන්න. ඉන්පසු එම බඳුනට කජු, කරදමුන්ගු, ලුණු එකතුකර හොදින් කලවම් කර පිටිවලින් ටිකෙන් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. පිටි ඉසගත් ලෑල්ලක තුනීකර ඉක්මනින් කපාගන්න.

 

සීනි අලුවා

අවශ්‍ය දේවල්:

  • හාල් පිටි ග්‍රෑම් 500 ක්
  • සීනි ග්‍රෑම් 400ක්
  • කජු ග්‍රෑම් 50ක්
  • කුඩුකරගත් කරඳමුන්ගු කරල් 2 ක්
  • ලුණු කුඩු තේ හැඳි බාගයක්
  • ටින් කිරි මේස හැඳි 1 ක්

ඉහත ආකාරයට පිටි සකසා ගන්න.කොටසක් පෙර පරිදිම වෙන් කරන්න.කජු කුඩා කොටස් ලෙස කපාගන්න.

බඳුනක් ලිප තබා සීනි දමා වතුර කෝප්ප එකහමාරක් පමණ දමන්න. වතුර සීනි මට්ටමේ තිබිය යුතුයි.සීනි හොඳින් උනුකරගන්න. බුබුලු එනවිටම ටින්කිරි එකතු කරන්න. ලිපෙන් බා කජු එකතු කරන්න. කරඳමුන්ගු සහ ලුනු එකතු කරන්න. තරමක් නිවෙන්නට හැර පිටි ටිකෙන් ටික එකතු කරන්න. යාන්තමට දියාරුවට ආ පසු පිටි ඉසගත් ලෑල්ලක් මත අතුරා ඉක්මනින් කපාගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles