අලුත් අවුරුදු කැවිලි මේසය 3 – පොඩිත්තන්ට කැවිලි ජාති..

අලුත් අවුරුද්දට ගෙදරට නෑගම් එන පොඩිත්තන්ට කැවුම්, කොකිස්, අලුවා කන්න බෑ කියලා කීවොත් එයාලට ආසා හිතෙන විදියේ කැවිලි ඔබේ කැවිලි මේසයේ තියෙන්න ඕන. කේක් වලට අමතරව මේ වගේ පුංචි පුංචි රස කැවිලි කිහිපයකුත් හදලා තියන්න අමතක කරන්න එපා.

පුහුල් දෝසි

අවශ්‍ය ද්‍රව්‍ය :

  • පුහුල් 1kg
  • සීනි 1kg
  • විටට කන හුනු තේ හැදි 2
  • අවශ්‍ය තරම් වතුර
  • ලුනු ස්වල්පයක්

සාදන ක්‍රමය :

මුලින්ම පුහුල් ගෙඩියේ වටේ පොත්ත හා ඇට සහිත කොටස කපා ඉවත් කර අඟලක පමණ කැබලි කපා ගන්න. ගෑරුප්පුවක් ගෙන සෑම කැබැල්ලකම සෑම පැත්තකට ගෑරුප්පුවෙන් හොඳින් අනින්න.

භාජනයකට හුනු ටික දමා සෑහෙන ප්‍රමාණයේ වතුරද දමා දියකරගෙන පුහුල් ටික දමා පැය පහ හයක් තබා ගන්න. ඉන්පසු වතුර ඉවත් කර පුහුල් කැබලි හොඳින් සෝදා ගන්න.

භාජනයක් ලිපතබා පුහුල් කෑලි වැසෙන තරමට වතුර දමා පැයක් පමණ මඳ ගින්නේ පියන හැර පිස ගන්න. ඉන්පසු ලිපෙන් ඉවත් කරගෙන වතුර පෙරා ගන්න. නැවත භාජනයක් ලිපතබා සීනි 1kg දමා වතුර ටිකක් දමා දිය කරගන්න.

ඉන්පසු තම්බාගත් පුහුල් දිය කරගත් සීනි ද්‍රාවණයට දමා වැසෙන තරමට වතුරද දමා ලුනු ස්වල්පයක් ද එක්කර ගෙන නැවත වතුර සිඳෙන තුරු උයා ගන්න.

ඉන්පසු සීනි විසුරවූ ට්‍රේ එකකට පුහුල් කැබලි දමා සීනි තවරා ගන්න.

රුලං කැබලි

අවශ්‍ය ද්‍රව්‍ය:

  • වේලා බැදගත් වියලා ගත් බත්.
  • රුලං කෝප්පයක්
  • හකුරු හෝ සීනි කැරමල්
  • ගාගත් පොල් කෝප්පයක්
  • ප්‍රෙෂ් මිල්ක් කෝප්පයක්
  • එනසාල් සහ කරාබු නැටි
  • වැනිලා
  • බටර් ස්වල්පයක්
  • ලුණු ස්වල්පයක්

ගා ගත් හකුරු , පොල් , වැනිලා , එනසාල් , කරාබු නැටි සහ ලුනු එකට දමා කලවම් කර ලිපේ තියන්න. පොල් හොඳින් මැලවී දුඹුරු පාට වූ පසු ෆ්‍රෙශ් මිල්ක් දමා කලවම් කරන්න. දැන් මෙයට රුලං සහ වියළි බත් කුඩු දමා කලවම් කරන්න. අඩු ගින්දරෙහි ලිප තබා ගන්න.

අවසානයට බටර් මේස එකතු කර මිශ්‍රණය එක ගුලියට එන විට ලිපෙන් ඉවත් කර ගන්න. බටර් තැවරූ ට්‍රේ එකක දමා තුනී කර සීනි උඩින් ඉස ගන්න. නිවුණු පසුව කෑලි කපා ශීතකරණයේ ටික වේලාවක් තබා කෑමට ගන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles