තුන්වෙනි වරටද මවක වීමේ බලාපොරොත්තුව අත් හැරුණි. දනුකගේ ඇස් වල වූ මලානික තෙත හැරෙන්නට අන් සියල්ල ඉවසා ගත හැක. නිවෙසට පැමිණි මොහොතේ පටන් ඔහු සිටින්නේ මා මඟ හරිමිනි. ඒ අන් යමක් නිසා නොව ඔහුගේ වේදනාව මට පෙනෙනවාට බියෙන් බව ඉන්තේරුවෙන්ම දනිමි. අම්මලාටද නොපැමිණෙන ලෙස පවසමින් ඔහු මා තනිවම නිවසට කැටුව ආවේද මේ මඟ හැරීම තබා ගන්නටම විය යුතුය.
රැයේ නින්දෙන් දනුක ඉකි ගැසුවේය. බර සුසුම් හෙලුවේය. දැන් ඔහුට තිස් හතකි. ඔහුගේ මිතුරු ගොනුවේ සියල්ලෝම එක් දරු නැතිනම් දෙදරු පියවරුන් ය. ඔහුගේ හොඳම මිතුරා තුන් නිවුන් දරු පියෙකි. දනුක ඒ පොඩි පැටවුන්ට අසීමාන්තිකව ආදරය කලේය. පොඩි පැටියෙකු වෙනුවෙන් අසීමාන්තිකව බලාපොරොත්තු කඳු තැනුවේය.
තුන් වෙනි වතාවේ ප්‍රතිකාර සඳහා දනුක ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රිය පවා විකුණා දමා කුඩා මෝටර් රියකට මාරු වූයේය. ඔහු පියෙකු වන්නට එතරමේ පාරමිතා පුරමින් උන්නේය.
දනුක වෙත කෙතරම් ප්‍රේමයක් ඉසිමින් උන්නා වුවද, ඔහුගේ ජීවිතයේ මා නිසා අතිශය විශාල තරමේ වන හිඩැසක් තැනෙමින් තිබුණි.
දින කිහිපයකට පසු දනුක සුපුරුදු සෙය්යාවෙන්ම ඉන්නට පටන් ගත්තේය. මගේ වේදනා දුරලන කතන්දර කෝටි ගණන් කීවේය. බලාපොරොත්තු අත් හැර ගත යුතු නැති බව කීවේය.
එහෙත් මට කිසිඳු බලාපොරොත්තුවක් ගොඩ නඟා ගත හැකි වූයේ නැත. කොටින්ම යලි ජීවිතයේ සුභ කටයුතු යමක් සිදුවේය කියා හෝ සිතුනේවත් නැත. මා නිසා බිඳුණු පිරිමියෙකු බවට පත් වෙන මගේ ප්‍රාණ සම ප්‍රේමවන්තයා වෙනුවෙන් වන හැඟීම් වලින් මට වරදකාරී බවක් පමණක්ම දැනෙමින් තිබුණි.
මා අතැර අන් මඟක යන්නයැයි කෙතරම් කීවද ඔහු එය ඉටු නොකරනු ඇතැයි මට සිතෙනවා වුවද, මම දනුක සමඟ ඒ පිළිබඳව කතා කරන්න ට තීරණය කලෙමි. මා සිහිනෙකින්වත් නොසිතූ ලෙස ඔහු එයට එකඟ වූයේය.
” මටත් හිතෙන්නේ ඒක හොඳයි …”
දනුක පැවසූයේ එපමණකි. මම උන්නේ අකුණක් වැදී ගිය සෙයිනි. කාර්‍යාලයට ගියා වුවද සිත එකඟ කරගෙන කිසිඳු රාජකාරියක් කරන්නට මට හැකි වූයේ නැත. කාර්‍යලයීය සගයන් සිතුවේ අනපේක්ෂිත ගබ්සා වීමේ කම්පනය තවම මා මත ඇති බවය. ඒ නිසා මට පැවරෙන රාජකාරි වල බර ඔවුහු මට නොදැනෙන්නට ඉටු කරමින් උන්හ.
එදින නිවසට ගිය පසු මට අවශ්‍ය වූයේ දනුක සමඟ ඔහුගේ තීරණය පිළිබඳව දොඬමලු වීමට වුවද ඔහු එවැන්නකට ඉඩ නොදී, කිසිදු වෙනසක් නොපෙන්වාම උන්නේය.
” සමහරවිට දනුක ඒක එවෙලේ කටට අවාට කියන්න ඇත්තේ …”
මම හිත හදාගත්තෙමි. සති දෙකක් පමණ වනවිට මම සාමාන්‍ය වෙන්නට උත්සාහ කරමින් උන්නෙමි.දනුකගේ හෝ මගේ මාපියන්ගෙන් අපට සීමාව ඉක්මවන බලපෑම් නොවූ නිසා, අප දෙදෙනාගේ හිත හදාගෙන යතාර්ථය පිළිගැනීම තුළ ජීවිත සාමාන්‍යකරණය විනි.
එහෙත් සියල්ල කැරකැවී ගොස් මා මහා ආගාධයකට හෙලෙන දිනය ඒ සති දෙකට පසුව උදාවිණි. සෙනසුරාදා දිනයක් වූ බැවින් මම උන්නේ රෙදි සේදීමට දමම්නි. දනුක මිතුරෙකු හමුවීමට යන වග පවසා පිටව ගියේය. පැයකට පමණ පසු ඔහු පැමිණියේ ෆයිල් කවරයක්ද රැගෙනය.
“මෙන්න … ඔයා ෆයිල් කරන විදියට ඩොකියුමන්ට් හැදෙව්වා මම … කාශ්‍යප අයියා ඔයාට කතා කරයි …”
ඉන් පසුව දනුක ඒ ෆයිල් කවරය මා වෙත පාමින් කිව්වේය. මම ඒදෙස බලා උන්නේ කිසිවක් වටහා ගන්නට නොහැකිවය.
” ඩිවෝස් එක ගන්න නම් කල් යයි.. එතකල් අපිට මෙහෙම ඉන්න පුළුවන් නෙහ්…?”
දනුක මගේ අතේ ෆයිල් කවරය බලෙන්ම රඳවමින් නළලද සිඹිමින් , ඉතා වේදනාබර මුහුණකින් මට නොපෙනී ගියේය.
මට වචනයක් හෝ ගලපා ගන්නට හැකි වූයේ නැත. ජීවිතයේ සිදුවූ සියලුම අහිමි වීම් එක් පසෙකට දැම්මත් මේ දැනෙන වේදනාව සහ අහිමිවීමේ හිඩැස විසල් බව දැන් දැන්ම දැනෙයි. මට හැඬුනේ පවා නැත. ඔහේ බිම හිඳ උන්නෙමි. දනුක නිවසින් පිටව යනු ඇසුණි.
අම්මලාට මේ ගැන පවසන්නේ කෙලෙසදැයි මට වැටහුණේ හෝ නැත. අවසානේ මම දනුකගේ අම්මා ඇමතුවෙමි.
” දෝණි …”
මට ඇඬුණි. ඇය නැන්දම්මා කෙනෙක් නොවේ. අම්මාමය.
“අනේ අම්මේ…”
“ඇයි දෝණි… ඇයි …අනේ මහත්තයෝ .. මේ දෝණි අඬනවනේ…”
ඇය එලෙසද පවසනු ඇසුණි. මට ඉන් එහා කතා කරගන්නට හැකි වූයෙ නැත. මම ජංගම දුරකථනය විසන්ධි කලෙමි. දනුකගේ මල්ලී ඊළඟ නිමේෂයේ ම මා ඇමතුවේය.
“අක්කේ ..ඇයි අක්කේ ? කෝ අයියා.. ඌ ෆෝන් එක ගන්නේත් නෑ…”
“ගෙදර නෑ එයා.. එයාට ..එයාට…ඩිවෝස් වෙන්න ඕනිලු .. මල්ලී…”
“මොකක්?”
මම කී වගක් හෝ නැතිව මට කියවුණි. පැය දෙකක් ගත වන වන්නත් පෙර දනුකගේ අම්මාත්, තාත්තා ත්,මල්ලීත් නිවෙසට ආහ. මට සැනසීමක් දැනුණි. මම අම්මා බඳාගෙන හැඬුවෙමි. මල්ලී දනුකට ඇමතුම් ගනිමිම් උන්නේය.තාත්තා ෆයිල් කවරය බලමින් උන්නේය.
“එයා බබෙක්ට ආසයි නේ අම්මේ.. මට එයාට ඒ සතුට දෙන්න බැහැ.
සමහරවිට එයාට හිතෙනවා ඇති මේක තමා හොඳම විසඳුම කියලා …”
මම අම්මාගේ උකුලේ හිස තබාගෙන හඬන අතරේම කීවෙමි. එලෙස පවසන විට මගේ පපුව හිර වන වේදනාවක් දැනුණි. මේ දැනෙන්නේ මගේ කුසෙහි වැඩුණි ජීවිත තුනම අහිමි වූවාට පසු දැනුණ වේදනාව ඉක්මවන වේදනාවකි
දනුක නිවෙසට පැමිණියේ බීමත්වය. තාත්තා ඔහුට බැණ වැදෙද්දී ඔහු අහිංසක ලෙසින් සිනාසී කාමරයට වැදුණේය.දොරද අඟුළු ලාගෙන තිබුණි. එදින රැය සියලු දෙනා වූයේ කුසගින්නේ විය.
අප වැටුණු වැටුණු තැන් වල නිදාගත්තෙමු.
උදෑසන මම ඇහැරුනේ කිසිවෙකු කුස්සියේ යමක් කරන හඬිනි. අම්මා සෙටියේ වැතිරී උන්නේය. මල්ලිද පුටුවක විය. තාත්තා හාන්සි පුටුවේ විය. මම අඩියට දෙකට කුස්සියට ගියෙමි.
දනුක කෝපි හදමින් උන්නේය. පසෙක දොඬම් යුශ වීදුරුවක් ද විය.
” දනුක ?”
” අහ්හ්… “
ඔහු ඇඟිලි තුඩින් හිස තෙරපවා ගනිමින් මා වෙත හැරුනේය. මම ඔහු එතැන වූ අසුනේ හිඳුවා නළල පිරිමැද්දෙමි. ඔහු මගේ කුසට හේත්තු වී නිසොල්මනේ උන්නේය. මට හැඬුණි. හිස ඔසවා බලද්දී අම්මාද, තාත්තා ද මල්ලීද කුස්සියේ දොරකඩ උන් හ.
“ඇඬුවද ගොඩක් ..ම්ම් ?”
දනුක විමසුවේ උන් පියවරේම හිඳගෙනය. මට එය වැටහුනේ නැත.
“රිදුණද ගොඩක් ?”
ඔහු ඉන් පසුව විමසුවේ හිස ඔසවා මා දෙස බලමිනි.
මට හැඬුණා පමණි.
“අඬන්න එපා අමා ඉතින්.. විහිළුවක් කලේ …. මට පුළුවන් ද ඕයි තවුසේ නැතුව ඉන්න …”
කඳුළු වියලෙද්දී ඒ පැවසූයේ කුමක්දැයි වටහා ගන්නට නොහැකිව මම බලා උන්නේමි.අම්මා නැගිට විත් දනුකගේ බාහුවට පාරක් ගැසුවේය.
” නාඩගම් නටන්න ඕනි වෙලාද ?”
” ආහ්.. අරං හදාගත්ත පුතාව බලන්න ඇවිල්ලා තියෙන්නේ ..? අම්මේ.. මමයි ඔයාගේ පුතා.. මෙයා ලේලි… “
දනුක සිනාසෙමින් පැවසුයේය. අම්මා නම් උන්නේ කෝපයෙනි.
“මොකද්ද ඕයි මේ විකාර්‍ර?”
මල්ලි එවර උස් හඬින් ඇසුවේය.
” ජෝක් එකක් බං… සමහරදේවල් තියෙනවා බං.. ඒවා තේරුම් කරන්න නම් රියැලිටිය පෙන්නමම වෙනවා.. මෙයා කිව්වා එයාගෙන් මම අයින් වෙලා ජීවිතේ හදාගන්නවා නම් එයාට සතුටුයි… ඒම කියලා බණ කිව්වා.. ඕකට මම කොච්චර කොහොම පැහැදිලි කලත් මේ උඹේ නෑනා ඒක තේරුම් ගන්නේ නෑ මළාට …. ඉතින් පොඩි නාට්‍යක් හැදුවා … දැන් හරිනේ.. ආයේ දැන් කවදාවත් ඕක අහන්නේ නෑ.. නැත්නම් දවසට දෙතුන් වතාව ගානේ ඕක කියනවා…දැන් තේරුම් අරගෙන ඉන්නේ .. නේහ් ?”
දනුක මා වෙත ඇස් උස්සා ඇසුවේය.
“තෝ නම් මාර වදයක් අයියා… මං යකෝ වැඩ ගොඩක් කැන්සල් කරලා ආවේ… බලනවකෝ..”
“තොට එන්න කිව්වේ කවුද බල්ලෝ… කවුද දන්නේ ලේලිගේ දුක අහන හමුදාව ඉන්නේ එහේ කියලා …”
දනුක මා උකුල මතට් වට්ටවා ගත්තේය.
මට සැනසුම් සුසුමක් හෙලුණි.
” ආයේ ඒ වගේ කතා කියන්න තියා හිතන්නවත් ඕනි නෑ.. එන් කෙනෙක්ට කැමති වෙලවක එන්න ඉඩ හදමු…හැබැයි … අපි දෙන්නා මෙහෙම ඉන්නෝනි …”
මට යළි හැඬිණි.
“මේ අන්ධකාරේ… එළිය වැටෙන්නේ… ජීවත් වෙන්නේ… ඔයා නිසා…….”
| අපේක්ෂා ගුණරත්න |
ReplyForwardAdd reaction |