අවුරුදු කෑම මේසයට ගැළපෙන මෙනු එකක්

විවිධ ලිපි මගින් අප ඔබට අවුරුදු කෑම මේසයට රසවත් ආහාර හඳුන්වා දුන්නා.මේ ඊටත් වඩා ඔබට පහසුවක් අත් කරමින් සම්පූර්ණ ආහාර වේලම එක ලිපියකින් ඔබට ඉදිරිපත් කිරීමක්.ඉතින් ඔබට අමුත්තන් පැමිනෙන්නේ එක වරක් නොවෙයි. ඔබේ කාර්‍යය පහසු කරමින් මෙන්න මේ මෙනු එක ඔබේ ඉවුම් පිහුම් හැකියාව මෙන්ම තෝරාගැනීමේ කුසලතාවය ඉහලට ඔසවා තබාවි.

අප මෙන්න මේ ආහාරයි ඔන්න හදන්න යන්නෙ.

ගිතෙල් බතක්, කජු ව්‍යන්ජනයක්, සලාදයක්, ඉස්සන් සමග අල කරියක්, අතුරුපසට අන්නාසි සමග පැනි කජු අයිස් ක්‍රීම්

ගිතෙල් බත

අවශ්‍ය දේවල් සහ සාදන ක්‍රමය:

හාල් කිලෝ එකක්, ගිතෙල් මේස හැඳි දෙකක්, කුඩාවට කපාගත් ලොකු ලූනු ග්‍රෑම් 100, කහ තේ හැඳි කාලක්, කුරුඳු කැබලි පහක් හයක්, කරඳමුන්ගු කරල් පහක්, කරාබු නැටි 4, රම්පා කරපින්චා ස්වල්පයක්, සුල්තානා ටිකක්, කජු ටිකක්

බඳුනකට ගිතෙල් දමා රත් කරන්න. එයට කරඳමුන්ගු, කරාබු නැටි, රම්පා, කරපින්චා, කුරුඳු, ලුනු, කහ සියල්ලම තෙලේ විනාඩි පහක් පමන තෙම්පරාදු කර සෝදාගත් හාල් දමා  තවත් විනාඩි පහක් පමන තෙම්පරාදු කර බත පිසීමට අවශ්‍ය වතුර දමා බත පිසින්න.

සුල්තානා ගැඹුරු තෙලේ බදින්න.කජු ද එලෙසම බදින්න. අවශ්‍ය නම් ලූනු ටිකක්ද බැද ගන්න. බත මේසයට යවන විට ඉන් සරසා යවන්න.

ඉස්සන් සමග අල කරිය

අවශ්‍ය දේවල් සහ සාදන ක්‍රමය:

ඉස්සන් ග්‍රෑම් 250, අල ග්‍රෑම් 250, මිරිස් කුඩු තේ හැඳි බාගයක්, තුනපහ කුඩු තේ හැඳි එකක්, කහ ටිකක්, ගම්මිරිස් කුඩු තේ හැඳි එකක්, සුදු ලූනු බික් දෙකක්, තක්කාලි ග්‍රෑම් 50, අමු මිරිස් කරල් දෙකක්, කුරුඳු කැබල්ලක්, උලුහාල් තේ හැඳි කාලක්, වතුර කෝප්පයක්, තලාගත් අඟලක පමන ඉඟුරු කැබල්ලක්, පොල් කිරි කෝප්පයක්, පාන් පිටි තේ හැන්ඳක්, බටර් මේස හැන්දක්, සිහින්ව කපාගත් ලොකු ලූනු ගෙඩියක්

අල සිහින්ව කොටු ආකාරයට කපන්න. ඉස්සන් පොතු පිටින් සෝදාගන්න. බඳුනකට ඉස්සන් සහ වතුර දමා පහේ දමා අලද දමා වතුර හිඳෙන තුරු තම්බන්න. බටර් මේස හැඳි එකක් සාස්පානකට දමා ලිප තබන්න. රත්වන විට ලූනු දමා එය රන්වන් පාට වනවිට පාන් පිටි තේ හැන්ඳක් එක්කරන්න. ලිප නිවා පොල් කිරි කෝප්ප එකක් එක්කරන්න. කලින් සකසාගත් ව්‍යන්ජනය උඩට මෙය වත් කරන්න.

කජු මාලුව

අවශ්‍ය දේවල් සහ සාදන ක්‍රමය:

අමු කජු මද ග්‍රෑම් 250, ලියාගත් රතුලූනු ග්‍රෑම් 50, පෙති කපාගත් අමු මිරිස් 3, උම්බලකඩ මේස හැඳි එකක්, කහ තේ හැඳි බාගයක්, තුනපහ මේස හැඳි එකක්, මිරිස් තේ හැඳි එකක්, උලුහාල් තේ හැඳි එකක්, කරපින්චා ඉති දෙකක්, රම්පා කැබැල්ලක්, සේර කැබැල්ලක්, මිටි කිරි කෝප්ප එකක්, දියකිරි කෝප්ප එකක්, පෙති කපාගත් සුදු ලූනු බික් 3

පලමුව අමු කජු මද කහ සහ වතුර ටිකක් දමා තම්බා ගන්න. කජු මදවල වතුර පෙරා ඇතිලියකට දමා පහේ වර්ග දමා දියකිරි දමා තම්බා මිටිකිරි දමන්න. හොද්ද ඉදුනු පසු කලු කුඩු ටිකක් ඉසින්න.

සලාදය

අවශ්‍ය දේවල් සහ සාදන ක්‍රමය:

පිපිඤ්ඤා ග්‍රෑම් 200, ග්‍රීන් පීස් ග්‍රෑම් 100, තක්කාලි ග්‍රෑම් 100, ලොකු ලූනු ග්‍රෑම් 150, සලාද කොළ 4

සලාද වැස්ම – බටර් මේස හැඳි 2, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, විනාකිරි මේස හැඳි 1, අබ පේස්ට් තේ හැඳි 1, ලුණු රසට

පළමුව පිපිඤ්ඤා අඟල් බාගයක පමනට කොටු කපා ගන්න. තක්කාලි ඇට හැර කොටු කපන්න. සලාද කොල සිහින්ව ඉරන්න. සලාද දීසියකට පිපිඤ්ඤා, තක්කාලි, ග්‍රීන් පීස් සහ  ලූනු දමා මිශ්‍රකර සලාදය පිළිගැන්වීමට ප්‍රථම  සලාද වැස්ම උඩින් දමා සලාද කොල උඩින් දමන්න.සලාද වැස්මට අවශ්‍ය දේ සියල්ල එකට දමා කලවම්කරගන්න.

අතුරුපසට අන්නසි සමග පැණි කජු අයිස් ක්‍රීම්

අවශ්‍ය දේවල් සහ සාදන ක්‍රමය:

සුදු වර්ණ අයිස්ක්‍රීම් මිලි ලීටර් 500, කපාගත් අන්නාසි කෝප්ප 1, රට කජු කෑලි 100, සීනි කෝප්ප කාලක්

අන්නසි, සීනි  ලිප තබා වතුර හිඳෙනතුරු හැඳිගාමින් පිසින්න. කජු ද එක්කරන්න. අයිස්ක්‍රීම් සමග මිශ්‍ර කර අධි ශීතකරනයේ රැයක් තබන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles