වෙනදාට වඩා විමසිල්ලෙන් හා අවධානයෙන් ජීවිතය ගෙවමු

පාස්කු ප්‍රහාරයෙන් පසු අපේ ජීවිත සාමාන්‍ය අතට හැරෙමින් තිබෙන කාලයයි මේ. සිදුවිය යුත්තේ ද අපි හැකි තරම් සාමාන්‍ය වීමයි. හදිසියේ මුහුණ දෙන බිහිසුණු සිදුවීම් පවා දරා ගැනීමට කාන්තාවන්, යුවතියන් ලෙස අපි බොහොම ශක්තිමත් විය යුතුමයි.

දැන් අපි ආයෙමත් කාර්යාලයේ කටයුතු හිතේ නිදහසින් මනා සිහියෙන් කළ යුතු කාලයයි. ඒ වගේම වෙනදාට වඩා කල්පනාකාරීව මහමඟ හැසිරිය යුතු කාලයයි. යුවතියන්ට කතාවට වැටුණම ලෝකයම අමතක වීම ස්වභාවික දෙයක්. ඇඳුම් සාප්පුවක ලස්සන ඇඳුම් අතර අතරමං වූ විට කිසිම බාහිර දෙයක් ගැන කල්පනා නොවීම සාමාන්‍ය දෙයක්.

දැන් ඒ පිළිවෙළ වෙනස් කරගන්න ඔබටත් මටත් වගකීමක් තිබෙනවා. හැම වෙලාවෙම බියෙන් සැකෙන් හිඳීම සහ කල්පනාකාරීව අවධානයෙන් හිඳීම කියන්නේ කාරණා දෙකක් බව අමතක කරන්න එපා.

ඒ නිසා ඔබ අවට වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න. කාර්යාලයට යන එන මඟ සිදු වන විශාල අනතුරක් වළක්වා ගත හැකි කෙනා වෙන්නට කල්පනාවෙන් කටයුතු කළහොත් ඔබට හැකි වේවි. ඉයර් ෆෝන් දෙකක් කනේ ගහගෙන‍ෙ ඔබේම ලෝකයක හුදෙකලාව සැහැල්ලුවෙන  බස් රියේ ගමන් කළ කාලය අමතක කරලා හැම වෙලේම‍ ඔබ අවට සිටින පුද්ගලයන් පිළිබදව අවධානයෙන් ගමන් කරන්න.

ඒ වගේම ඔබේ අසල්වැසියන් පළාතට අලුත් නම් ඒ අයගේ හැසිරීම් ගැන මදක් සැලකිලිමත් වෙන එකත් හොඳ දෙයක්. ඔබේ ලේන් එකේ එහෙමෙහෙ යන නාඳුනන වාහනයක් ගැන පවා විමසිල්ලෙන් හිඳීම නරක දෙයක් නෙවෙයි. කුණු මලු එක්‍ රැස් වෙන තැන ලේන් එකේ ගෙවල් ගාණට වඩා වැඩියෙන් කුණු මල්ලක් තිබීම ගැන පවා සැලකිලිමත් විය යුතු කාලයක් තමයි මේ.

අනිත් අය සියල්ල කරන තුරු බලා හිඳින්න එපා. අපි කාටත් සමාජය හා රට වෙනුවෙන් කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම දෙයක් දුටු විට නොදුටු ලෙස සිටීමත් අනිත් අය ඒ වෙනුවෙන් කතා කරන තුරු බලා සිටීමත් ඒ තරම් හොඳ දේවල් නෙවෙයි.

රටේ නීතියට නොගැළපෙන යමක් සිදු වෙනවා නම් ඒ වෙනුවෙන් කතා කරන්නට ඔබේ ගැහැණුකම බාධාවක් කරගන්න එපා.

කාන්තාවකට ලෝකය වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කරන්න හැකියාව තිබෙනවා.

ලෝකයේ ආගම් සහ ජාතීන් ඕනෑ තරම් පැවතිය හැකියි. නමුත් අපි සියලු දෙනා කාන්තා ජාතියට අයත් අය. ලෝකයේ පැතිර යන නපුර වළක්වන්නට අපේ දරුවන්ට කියා දෙන්නට පුලුවන් අපිට වග අමතක කරන්න එපා.

ලෝකය පුරා ආදරය ගෙන යන්නට සමත් විමසිල්ලෙන් අනතුරු වළක්වා ගන්නා, ඕනෑම නපුරකට එරෙහි වන කාන්තාවක් වීමේ සටන ඔබ තුළින්ම අරඹන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles