සමීප කෙනෙකුගේ හදිසි වියෝවක් අපට බලපාන්නේ කොහොමද?

පහුගිය දවස්වල අහන්න දකින්න ලැබුණු සමහර කාරණා එක්ක සමීප කෙනෙකුගේ වියෝවක් දරාගන්න අවශ්‍ය මානසික ශක්තිය ලබා ගන්න ආකාරය ගැන අපි අනිවාර්යයෙන් දැනුවත් විය යුතුමයි.

අපි හැම කෙනෙකුටම බැඳීම් තිබෙනවා. මේ බැඳීම් හටගන්නේ මානසිකව. ඉතින් සමීප කෙනෙකු වියෝවීම අපිට තදබල ලෙස මානසික කම්පනයන් ඇති කරන්නට සමත් කාරණාවක්. අපි අහිමි වීම බාරගන්න ආකාරය අනුව, එම අහිමි වීමට එම පුද්ගලයාට ඇති බැඳීම අනුව, අපේ පෞරුෂ ස්වභාවය මත මේ මානසික පීඩාකාරී තත්ත්වයන් ඇති වෙනවා.

සාමාන්‍යයෙන් අහිමිවීමකදී අපි පියවර කිහිපයක් පසු කරනවා.

පළමු පියවර තමයි අහිමි වීම පිළිගැනීමට අකමැති වීම. මරණයක් පිළිබඳ දැනගත් වහා එය එසේ නොවන බව පවසමින් අපි හඬා වැළපෙන්නේ මේ පියවරේදී. මේ අදියර තුළදී අප ඒ අහිමිවීම පිළිගන්නේ නැහැ .එය සිහිනයක් හෝ බොරුවක් බව විශ්වාස කරනවා.

දෙවන පියවර තරහින් සිටීම. මරණයට පත්වූ පුද්ගලයාට අපිව හැර යා යන්නට හැකි වීම ගැන ඔහු සමඟ කෝප වීම මෙන්ම අපේ සමීපතමයා අපෙන් වෙන් කල ඔහුගේ/ඇයගේ  මරණයට හේතු වූ හේතු කාරණා ගැන කෝපයෙන් පසු වීමට අපි පෙළඹෙන්නේ මේ දෙවන අදියරේ දී.

තුන්වෙනි අදියර අපෙන් වියෝ වූ පුද්ගලයා නැවත පැමිනේවි යැයි විශ්විස කිරීමට පෙළබිම මේ අවධියේ ප්‍රධන ලක්ෂනයක්. නැවත පැමිණෙන ලෙස වියෝ වූ පුද්ගලයාට කන්නලව් කිරීමත්  මේ අවධියේ දක්නට හැකියි. බොහෝ දෙනා මේ අදියරට එන්නට පෙර මනස ශක්තිමත් කරගන්නට සමත්. නමුත් මේ අදියර දක්වා සුළුතරයක් පිරිස පැමිනෙණවා. එවැනි පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයකින් පසු වීම ඉතා වැදගත්.

තුන් වෙනි අදියරේන් පසු මුහුණදීමට සිදුවන  හතරවෙනි අදියරේදී පුද්ගලයන්  විශාදයට ලක් විය හැකියි. තමා අපේක්ෂා කරන පරිදි සමීපමතයා එන්නේ නැති බව තේරුම් යාමත් සමග ඇති වන අපේක්ෂා භංගත්වය තුලින් විෂාදය ඇති වීමට පුලුවන්. කෑම අරුචිය හෝ අධික කෑම රුචිය, හිසේ කැක්කුම, වමනය, අසාමාන්‍ය නිදිමත, බලා ගත්තු අත බලා සිටීම වැනි ලක්ෂන නීරීක්ෂනය කල හැකි නම් වහාම මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු වීම වැදගත් වන්නේ නිසි ලෙස සිදු විය යුතු මනෝ විද්‍යා උපදේශනය,මනෝ වෛද්‍ය ප්‍රතිකාරයන් මගහැරුනොත්  සිය දිවි නසා ගැනීමේ ඉඩක්ද මේ අවස්ථාවේ පවතින නිසයි. එම නිසා මේ අවධිය පසු කරන්නට සිදුවෙනවා නම් වහා මනෝ වෛද්‍ය ප්‍රතිකාරයන් වෙත යොමු වීම අත්‍යවශ්‍යයි..

 ඒ නිසා ඕනෑම අහිමි වීමකදී කළ යුතු ප්‍රධානම දේ සත්‍යයට මුහුණ දෙමින් සිත ශක්තිමත් කර ගැනීම. ඒ වගේම මෙවැනි අහිමි වීමක් සිදු වූ පුද්ගලයන් ඔබට අවට සිටී නම් එවැනි පද්ගලයන්ට මේ තත්වය මගහැර ගැනීමට සහය වීමද ඔබේ වගකීමක් මෙන්ම යුතුකමක්ද වේ…

ඒ වගේම කිසිම අවස්ථාවකදී කිසිම කෙනෙකුට ඔවුන්ගේ සමීපතම අයෙකුගේ මරණය සඟවන්න එපා. දරුවන්ට පවා ක්‍රමයෙන් සත්‍යය වටහා දීම ඉතාම වැදගත්.

අප අදහන ආගම් අනුව මරණය ලෝකයේ සියල්ලන්ටම පොදු කාරණාවක්. ඒ කාරණාව වටහා ගැනීමත්, දුක හිර කරගෙන නොසිට හැඬීම, හිතේ දුක ලිවීම, සමීප කෙනෙක් සමඟ දුක බෙදා ගැනීම නැතිනම් මනෝ වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ඔබ අහිමිවීමකට පසු අනිවාර්යයෙන් කළ යුතු දේවල්.

සෑම හමුවීමකම අවසානය වෙන් වීමයි. ඒ නියත දහම හදවතේ තබා ගැනීම ඉතා වටිනා දෙයක්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles