විටමින් ඊ යොදාගෙන නිවසේ දීම පහසුවෙන් කර ගත හැකි ප්‍රතිකාර

රූපලාවණ්‍ය සත්කාර අතර විටමින් ඊ සත්කාර පිළිබඳ බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. සාමාන්‍යයෙන් විටමින් ඊ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන මිලෙන් අධික වුණත් විටමින් ඊ තෙල් සහ විටමින් ඊ කරල් යොදාගෙන ඔබට බොහොම සරල රූපලාවණ්‍ය සත්කාර නිවසේදීම කර ගන්නට පුලුවන්. ඒවා බොහොම ප්‍රතිඵලදායක යි.

ඔක්සිකාරකයක් වන විටමින් ඊ ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ක්‍රියා කරනවා. රුධිර සංසරණය ක්‍රමවත්ව පාලනය කරනවා. අපේ සම හා හිස කෙස් වලටද විටමින් ඊ විශේෂ සත්කාරයක් ලබා දෙනවා.

මේ ඔබට විටමින් ඊ යොදාගෙන පහසුවෙන් කර ගත හැකි ප්‍රතිකාර යි.

  1. රත්කර ගත් ඔලිව් තෙල් මේස හැදි දෙකකට විටමින් ඊ තෙල් ස්වල්පයක් හෝ කරලක් එක් කර හිසකෙස් වල ගල්වා මසාජ් කර විනාඩි තිහකට පසු සෝදා හරින්න.
  2. විටමින් ඊ තෙල් ස්වල්පයක් සමේ ලප කැළැල් ඇති ස්ථානවල ගල්වා හොඳින් පිරිමැද විනාඩි විස්සකට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට දෙවරක් සිදු කරන්න
  3. රාත්‍රී නින්දට පෙර විටමින් ඊ තෙල් ස්වල්පයක් ගෙන සමේ රැළි වැටී ඇති ස්ථානවල ආලේප කර හොඳින් පිරිමදින්න. උදෑසන උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  4. දණහිස් , වැලමිට, කිහිළි වල අවපැහැ වූ තැන්වල එඩරු තෙල් ස්වල්පයකට විටමින් ඊ කරලක් මිශ්‍ර කර රාත්‍රියේ ආලේප කරන්න.පසුදා උදෑසන සෝදා හරින්න.
  5. මී පැණි සහ ලෙමන් යුෂ වලට විටමින් ඊ තෙල් ස්වල්පයක් එක් කොට මිශ්‍ර කර පසුව එයට අත් දෙක දමා විනාඩි කිහිපයක් පොඟවන්න. ඔබගේ දෑත් වල වියළි බවට මෙය හොඳ ප්‍රතිකාරයක්.
  6. ලෙමන් යුෂ වලට විටමින් ඊ තෙල් කලවම් කර ඇඟේ සීරිම් සහ තුවාල සලකුණු ඇති ස්ථාන වල හොඳින් ආලේප කර විනාඩි 10ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
  7. විටමින් ඊ තෙල් ස්වල්පයක් දිනපතා තොල් වල ආලේප කරන්න. තොල් වලට අවශ්‍ය තෙතමනය ලැබී වියළි සහ පැලුණු ස්වභාවය නැති වී යනවා.
  8. පොල් තෙල්, ඔලිව් තෙල් හා විටමින් ඊ තෙල් සමානව ගෙන මිශ්‍ර කොට පැලී ගිය සහ පළුදු වූ හිසකෙස් වල අග ගල්වන්න. පැයක් තබා ෂැම්පු වර්ගයක් භාවිතා කර සෝදා හරින්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles