පවුලට අලුත් දරුවෙක් ලැබෙන විට වැඩිමල් දරුවාගේ හැසිරීම කොහොම ද?

මවක් වීම ඇත්තටම අභියෝගයක් වෙන්නේ පළමු දරුවා සම්බන්ධයෙන් ද.. දෙවෙනි දරුවා ලැබෙන විට ඔබේ ගර්භනී බව සහ නව සාමාජිකයා නිසා ඔබේ වැඩිමල් දරුවා මානසිකව ඇද වැටීමට ඉඩ තිබෙනවා. ඒ වෙනුවෙන් ඔබට කරන්න පුලුවන් මොන වගේ දේවල් ද?

  • ඔබ දෙවෙනි දරු උපත සැලසුම් කරන විට වැඩිමලාට ඒ ගැන පවසන්න. “අම්මා පුතාට නංගියෙක් ගේන්න ලෑස්ති. පුතා ඒකට කැමති ද?”
  • කිසිම විටෙක ඔබේ ගර්භනී බවේ ආතතිය වැඩිමල් දරුවාට දැනෙන්නට ඉඩ හරින්න එපා.ඔබ දැඩිසේ රෝගාතුර නම් තාත්තා හෝ අත්තම්මා වැනි දරුවාට ළඟම කෙනෙකුට දරුවාට සමීප වෙන්නට ඉඩ හරින්න.
  • ක්‍රමයෙන් කුස වැඩෙන විට “නංගිට/මල්ලිට කිස් එකක් දෙමු, එයාව අත ගාමු වැනි දේ කියමින් ඔබේ උදරය ස්පර්ෂ කරන්නට දරුවාට ඉඩ දෙන්න.කවි ගීත කතන්දර පැවසීමට ඉඩ හරින්න.
  • අලුත් සාමාජිකයාගේ භාණ්ඩ මිලට ගන්නා විට වැඩිමහල් දරුවා ප්‍රිය කරන දේවල් රැගෙන දෙන්න.අලුත් තොටිල්ල , ඇඳුම් පැළඳුම් ආදිය බබාගෙන් නංගිට/මල්ලිට ලැබෙන තෑගි බව පවසන්න.
  • ඔබ ස්කෑන් පරීක්ෂණ සඳහා යනවිට දරුවා රැගෙන ගොස් නංගි/මල්ලි දැක ගන්නට ඉඩ හරින්න.
  • නංගි/මල්ලි ගෙදර පැමිණි වහා සෙල්ලම් කරන්නට නොහැකි බවත් ඉක්මනින් ලොකු වන්නට අයියා/ අක්කාගේ ආදරය සහ උදව් උවමනා බවත් නිතරම පවසන්න.
  • දරුවා උපන් පසු වැඩිමලාට සිඟිත්තා ඇල්ලීමට ඉඩ දෙන්න.
  • අමුත්තන් සිඟිත්තා බලන්නට තෑගි ගෙන එන විට වැඩිමලා ප්‍රිය කරන දේවල් අමුත්තන්ට දී ඒවා වැඩිමල් දරුවාට ගෙන ආ බව පවසා ඔහුට ලබා දීමට ඉඩ දෙන්න.
  • නැපි නැවීම, අස් කිරීම ආදියට වැඩිමලා සම්බන්ධ කර ගන්න.
  • අනතුරු ඇති කරනවාදැයි විමසිල්ලෙන් සිටින්න.
  • වැඩිමලා ඔබේ අවධානය සහ ආදරය බලාපොරොත්තු වෙන සෑම විටකම එය ලබා දෙන්න. තරවටු කරන්න එපා.
  • අවධානය හෝ ආදරය මදි වී වැඩිමලා ප්‍රචණ්ඩ වූවොත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සිදු කළහොත් ඒ ගැටලු ආදරයෙන් විසඳන්න.

දරුවෙකු මව් සෙනෙහස මදි බව හැඟුණු විට සහ අම්මා තවත් කෙනෙකුට සමීප බව වැටහුණොත් විශාල මානසික ඇද වැටීමකට ලක් වෙනවා. එය මඟ හරවා ගැනීමටත් ඔබේ දරුවන් අතර එකිනෙකා කෙරෙහි ආදරය ඇති කිරීමටත් වගකීම ඇත්තේ ඔබට බව අමතක කරන්න එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles