බෙඩ් ටයිම් ස්ටෝරි – 8

0
2359

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න. ඔයාගේ රසයෙන් කියන්න. පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

නරි පැන්චාට යාලුවෙක්

නරි පැන්චාට හරිම කම්මැලියි. සෙල්ලම් කරන්න කවුරුවත්ම නැහැ. මෙහෙම ඉඳලා බැහැ. යාලුවෙක් හොයාගන්න යන්න ඕනා. එයා හිතුවා. එහෙම හිතලා එයාගෙ සමනලුන් අල්ලන දැලත් අරන් එලියට බැස්සා. මගදි එයාට එයාගෙ අම්මව හම්බුනා.පුතා කොහෙද යන්නෙ කියලා එයා ඇහුවා. එයා යාලුවෙක් අල්ලන්න යනවා කියලා නරි පැන්චා කිව්වා. අම්මාට හරිම හිනා. අම්මා කිව්වා මෙන්න මෙහෙම. පුතේ යාලුවෝ අල්ලගන්න බැහැ. අපි යාලුවෝ හදාගන්න ඕනි කියලා. ඉතින් නරි පැන්චා දැල පැත්තකට දාලා යාලුවෙක් හදාගන්න හිතුවා. ඔව් කොහොමද යාලුවෙක් හදාගන්නෙ. එයා පැත්තක වාඩිවෙලා ගොඩාක් වෙලා කල්පනා කලා. එයා දැක්කා පොඩි ඇපල් ගෙඩියක්. එයා ඒකෙ අතපය වලට ගැලපෙන කෝටු කෑලි ටිකක් ගහලා යාලුවෙක් හදා ගත්තා. ඒත් ලොකු ප්‍රශ්නයක්. යාලුවා කතා කරන්නෙ නැහැ. හරිම වැඩේ. නරි පැන්චා ඒ ගැන කල්පනා කරමින් ඉන්නකොට ලේන් පුන්චා ඒ අසලින්ම යන්න ආවා. නරි පැන්චා තමන්ට වුන හදිය ලේන් පුන්චාට කිව්වා. ලේන් පුන්චාත් කල්පනා කරන්න පටන් ගත්තා.

සමහරවිට මෙයා පොඩි වැඩිද දන්නෙ නැහැ, ඒ නිසා අපි ලොකු එක්කෙනෙක් හදලා බලමු. ලේන් පුන්චා යෝජනා කලා. එයාලා දැක්කා පරන වට්ටක්කා ගෙඩියක්. ඒකත් අරන් කෝටු කෑලි ටිකකුත් හොයාගෙන වට්ටක්කා ගෙඩියෙන් යාලුවෙක් හදා ගත්තා. ඒත් ඒ යාලුවත් කතා කරන්නෙ නැහැ. දෙන්නටම හරිම දුකයි. යාලුවෝ නැතිව කොච්චර පාලුද? ඔය අතරේ එතනට වලස් පැන්චාත් ආවා. ලේන් පුන්චයි, නරි පැන්චයි දුකෙන් ඉන්නෙ ඇයි කියලා ඇහුවා. එයාලා දෙන්නම එයාලට වෙච්චි කරදරේ කිව්වා. වලස් පැන්චාටත් හරිම දුකයි. එයත් වාඩිවෙලා කල්පනා කරන්න ගත්තා. මොකක් ගැනද කියලා මතකයිනෙ. හදපු යාලුවෝ කතා නොකරන්න හේතුව තමා එයාලා කල්පනා කලේ.

ඇත්තටම එයත් හිටියේ පාලුවෙන්. එයාටත් යාලුවෙක් නැහැ. ඔන්න ඔහොම තුන් දෙනාම දුකින් කල්පනා කරමින් ඉන්නකොට නරි අම්මා ආවා. එයා බැලුවා මොකද මේ තුන්දෙනා බුම්මන් ඉන්න හේතුව. තුන් දෙනාම මුල ඉඳලා විස්තරේ කිව්වා. අම්මට හරිම හිනා. එයා නරි පැන්චාට ආදරෙන් කතා කලා. පුතේ යාලුවෝ මෙහෙම හදාගන්න බැහැ. අනික එයාලා පන තියෙන අයනෙ. යාලුවෝ එකිනෙකා ට ආදරෙයි. සෙල්ලම් කරනවා. කරදරේකදි උදව් කරනවා. හිනා වෙනවා. හුස්ම ගන්නවා……..  ඉතින් ඔයා ගාව ඉන්නෙ එහෙම යාලුවො දෙන්නෙක් ඔය, ආයෙත් පන නැති යාලුවෝ මොකටද? ඔයා ඔය නියම යාලුවෝ දෙන්නෙක් හදාගෙන තියෙන්නේ….. අම්මා කිව්වා.

නරි පැන්චායි, ලේන් පුන්චායි, වලස් පැන්චායි එකිනෙකා දිහා බැලුවා. ඇත්ත නේන්නම්, මේ ඉන්නේ යාලුවෝ ……තුන් දෙනාම සතුටින් උඩ පැන්නා. ඊට පස්සෙ සෙල්ලම් කරන්න දිව්වා.

– චම්මි –