හැමදාම කැරට් උයලම කාල එපා වෙලාද? එහෙනම් මේ විදිහට හදල බලමුද?

කැරට් කියන්නෙ පෝෂණ ගබඩාවක් බව ඔබ දන්නවා. විටමින් රැසකින් සපිරි කැරට් සතුව සම පැහැපත් කිරීමේ හැකියාවක්ද තිබෙනවා. ඉතින් හැමදාම එකම විදියට උයන කැරට් වලින්වෙනස් වෙනස් රසවත් කෑම හදලා නිවසේ ජනප්‍රිය ආහාරයක් බවට කැරට් පත් කරන්න කවුද කැමති?

කැරට් ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය:

අයිස් කැට කෝප්ප එකක්, දොඩම් යුෂ කෝප්ප බාගයක්, කැරට් ගෙඩි තුනක්, ඉඟුරු, මී පැණි.

සාදන ආකාරය:

ඉහත සියල්ලම එකට දමා බ්ලෙන්ඩර් කරන්න. ලස්සන උස වීදුරුවකට බහා පිළිගන්වන්න. කැරට් මලක් සාදා වීදුරුව ගැට්ටේ ගසන්න.

කැරට් ඩෙවල්

අවශ්‍ය දේවල්:

පොඩි කැරට් ග්‍රෑම් 500 රවුම් පෙති කපන්න, බී ලූණු ග්‍රෑම් 200, තක්කාලි ග්‍රෑම් 200, බෙල් පෙපර් කොළ පාට එකක් රවුම් පෙති කපාගන්න, ලීක්ස් ග්‍රෑම් 100 ක් රවුම් පෙති කපාගන්න, ඔයිස්ටර් සෝස් මේස හැඳි 1, තක්කලි සෝස් මේස හැඳි 5, අඹරාගත් ඉඟුරු මේස හැඳි 1, එළවලු තෙල් මේස හැඳි 5, රම්පේ, කරපිංචා, කෑලි මිරිස් මේස හැඳි 2, ලුණු තේ හැඳි එක හමාරයි, ගම්මිරිස් කුඩු තේ හැඳි 1, කහ තේ හැඳි කාලක්, සීනි මේස හැඳි 1, උම්බලකඩ කුඩු මේස හැඳි 1.

සාදන ආකාරය:

පළමුව තෙල් රත්වෙන්නට තබා එයට ඉඟුරු,සුදු ලූනු,රම්පේ සහ කරපිංචා එකතු කර බැද ගන්න. එයට කෑලි මිරිස්, උම්බලකඩ, ලුණු, ගම්මිරිස්, කහ එකතුකර විනාඩි දෙක තුනක් බැදගන්න. එයටම කපාගත් කැරට්, ලීක්ස්, එකතු කර බැදගන්න.

පසුව බී ලූණු එකතු කරන්න. එයටම කපාගත් තක්කාලි එකතු කර හොඳින් කලවම් කර ළිපෙන් බා තක්කාලි සෝස් එකතු කරන්න.

කැරට් රයිටා

අවශ්‍ය දේවල්:

කපාගත් කැරට් කෝප්ප දෙකක්, යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප දෙකක්, කපාගත් අමු මිරිස් එකක්, සූදුරු ස්වල්පයක්, ලුණු,ගම්මිරිස් රස අනුව.

සාදන ආකාරය:

කපාගත කැරට් වලට යෝගට් හෝ මුදවපු කිරි මිශ්‍ර කරන්න. සූදුරු තරමක් කබලේ බැද එයට එක්කරන්න. ලුණු, ගම්මිරිස්, කපාගත් අමු මිරිස් ද එක්කර මිශ්‍ර කරන්න.

කැරට් පුඩිම

අවශ්‍ය දේවල්:

තම්බාගත් කැරට් ග්‍රෑම් 500, පිටි ග්‍රෑම් 100, බේකින් පවුඩර් තේ හැඳි 1, බටර් ග්‍රෑම් 75, බිත්තර 2, සිහින්ව කපාගත් කජු ග්‍රෑම් 50, වියලි මිදි ග්‍රෑම් 30, සීනි ග්‍රෑම් 200, වැනිලා තේ හැඳි 1.

සාදාගන්නා ආකාරය:

පළමුව කැරට් ග්‍රේට් කරන්න. පසුව එයට බටර් සහ සීනි එකතුකර බීට් කරන්න. එයටම බිත්තර එකතුකර සීනි දියවෙන තුරු බීට් කරන්න. පසුව එයට ග්‍රේට් කරගත් කැරට් මිශ්‍ර කරන්න. එයටම කජු සහ වියලි මිදි එකතුකරන්න. පසුව එයට හලාගත් පිටි, බේකින් පවුඩර්, සහ වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. මෙය බටර් ගා ගත් ට්‍රේ එකකට දමා විනාඩි තිහක් පමණ ස්ටීම් කරන්න. ඉන්පසුව ශීතකරනයේ තබා කෑමට ගන්න.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles