ඔටිසම් ගැන ඔබ නිවැරදිව දැනුවත් ද?

ඔටිසම් කියන්නේ කුඩා දරුවන් පෙළෙන එහෙත් හරි හැටි හඳුනා නොගන්නා රෝග තත්වයක්. මෙය කුඩා කාලයේදී ඇරඹී ජීවිත කාලය පුරා යම් ආකාරයකින් පවතින මොළයේ සෛලවල සම්බන්ධතා ඇති වීමේ දුර්වලකමක්.

මේ රෝගය ඇති වීමට හේතුව නිශ්චිතව හඳුනා නොගත්තත් ජානමය හේතු බලපාන බව කියවෙනවා.

ඔටිසම් රෝග ලක්ෂණ මොනවාද?

වයස අවුරුද්දට අඩු දරුවෙකුගේ රෝග ලක්ෂණ:

  • නිදා ගැනීමේ අපහසුතා සහ ආහාර ගැනීමේ ගැටලු
  • කැරකැවෙන දේවල් දෙස බලා සිටීමට වැඩි කැමැත්තක් දැක්වීම
  • ඇස් දෙස කෙලින් නොබැලීම..

අවුරුද්දට වැඩි දරුවන්ගේ ගැටලු

  • සාමාන්‍යයෙන් බහ තේරිය යුතු වයසේදිත් වචන කිහිපයක් හෝ වසර දෙක වනවිටත් වචන දෙකක වාක්‍යයක් හෝ කියන්නට නොහැකි වීම.
  • තම නමට ප්‍රතිචාර නොදැක්වීම.
  • නිවසෙන් පිටත තැනකට ගෙන ගිය විට අධික ලෙස කලබල වීම සහ පරිසර වෙනස්කම් දරා ගත නොහැකි වීම.
  • හේතුවක් රහිතව නිතර හැඬීම.
  • තවත් දරුවෙක් සමඟ සෙල්ලම් කිරීමට නොහැකි වීම.
  • කරකැවෙන දේවල් ( ෆෑන් එක ) සහ සෙලවෙන දෙයක් ( හුළඟට සෙලවෙන ) දෙස බලාසිටීමට වැඩි කැමැත්තක් දැක්වීම.
  • සෙල්ලම් බඩුවකින් නිසි ලෙස සෙල්ලම් කල නොහැකි වීම.
  • ඕනෑම දෙයක් එක පෙළට තැබීම.
  • සෙල්ලම් බඩුවක් දුන් පමණින් පොලවේ ගසා කැඩීම.
  • නොනවත්වා එකතැන කැරකීම.
  • උඩ පැනීම, හිස හා අත් සෙලවීම.
  • සිප ගැනීම, වඩා ගැනීම, තුරුල් කරගැනීමට අකමැතිවීම.
  • නිතර අධික කලබලයට පත්ව තියුණු හඬින් කෑගැසීම.
  • නිදාගැනීමේ හා වැසිකිලි යාමේ ගැටලු.
  • අනතුරුදායක දේ කිරීමට බියක් නොදැක්වීම.

මේ හැරුණු විට මේ දරුවන් නිවසේ අය සමඟ එක්ව සිටීම ඡායාරූප ගැනීම ආදියත් ප්‍රතික්ෂේප කරනවා. සමහරුන් තනිව කතා කරන දරුවන්. එකම දේ නැවත නැවත කියවනවා. සමහරුන් අධි ක්‍රියාශීලි අතර සමහරුන් උදාසීන බයාදු දරුවන්.

ඔටිසම් දරුවන් එකිනෙකට වෙනස් දරුවන් වන අතර එකම රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.

දැනට ඇති සංඛ්‍යාලේඛන අනුව උපදින සෑම දරුවන් අනූ තුනකින් එක දරුවෙක් ඔටිසම් දරුවෙකු වනවා. මෙයට නිශ්චිත ප්‍රතිකාර නැහැ.නමුත් දරුවාගේ අවශ්‍යතාවන් සහ දුර්වලතාවයන් නිසිලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විශේෂ චිකිත්සක ප්‍රථිකාර සඳහා යොමු කරනවා.

මේ රෝග ලක්ෂණ ඔබේ දරුවාටත් ඇති බව දැනෙනවා නම් වයසේ හැටි හෝ විවිධ දෝෂ වැනි මත වල නොසිට ප්‍රතිකාර සඳහා යොමු වීම අනිවාර්යය දෙයක්. ඒ වගේම ඔබ පෙරපාසල් ගුරුවරියක නම් ඔබේ කුඩා සිසුවෙකු මේ තත්වයේ බව ඔබට හැඟෙනවා නම් දරුවාගේ මව දැනුවත් කරන්නටත් අමතක කරන්න එපා.

මේ තත්වය චිකිත්සක ක්‍රම වලින් සුව කරගන්නට පුලුවන්. ඒ නිසා දැනුවත්ව වළක්වා ගැනීම අපිට අයිති දෙයක්.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles