බෙඩ් ටයිම් ස්ටෝරි – 9

0
7097

බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි…

කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න, ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ. විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න.ඔයාගේ රසයෙන් කියන්න.පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැංවෙනු ඇති.

බෙඩ් ටයිම් එකට විතරක් නෙවේ කතාවක් කියන්නෙ ඕනෑම වෙලාවක පොඩි පැටියෙක්ව දැපනෙ දාගන්න පුලුවන් ආයුධයක් කියලා අම්මලා දන්නවා නේද ?

කැලේ ඉන්න් සත්තු ඔක්කොම හැමදාම දවල්ට කාලා පොඩ්ඩක් නිදාගන්නවා. හැමෝම හොඳටම නිදි වෙලේ එක්කෙනෙක්ට විතරක් නින්ද ගියේ නැහැ. කවුද දන්නවද ඒ ? එයා තමා අලි රාළ. එයාට නින්ද එන්නෙම නැහැ. ඇයි දන්නවද ? එයාට ඉක්කාවක් හැදිලා. ඉතින් ඒ නිසා එයාට නින්ද එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. එයාගෙ ඉක්කාව හරිම සද්දෙයි. ඒක ඉතින් අහන්නත් දෙයක්ද ? නේද ? ඒක අලි ඉක්කාවක්නෙ.

මේ ඉක්කාවෙ සද්දෙට මුලින්ම ඇහැරුණේ නිදාගෙන හිටපු චිම්පන්සියට. මට පුලුවන් ඔයාගෙ ඉක්කාව හොඳ කරන්න කියලා චිම්පන්සියා කිව්වා. ඒ කොහොමද කියලා අලි රාළ ඇහුවා. ඔලුවෙන් හිටගෙන මේ කෙසෙල් ගෙඩිය කන්න කියලා චිම්පන්සියා අලි රාළ ට කෙසෙල් ගෙඩියක් දුන්නා. ඒත් ඔලුවෙන් හිටගන්න ගිහින් අලි රාළ දඩ්ඩෝන් කියලා බිමටම වැටුණා.

මේ අලි ඉක්කාවෙ සද්දෙට ඊලඟට ඇහැරුණේ සිංහයට. හුස්ම උඩට ඇදගෙන වතුර ගොඩක් බීගෙන බීගෙන ගියාම ඉක්කාව නවතිනවා කියලා එයා කිව්වා. ඒත් ඒ ක්‍රමේත් හරිගියේ නැහැ.

අලි ඉක්කාවෙ සද්දෙට ඊලඟට ඇහැරුණේ සීබ්‍රාට. දහයේ ඉඳලා එකට හයියෙන් ගණන් කරන්න. එතකොට ඉක්කාව ටක් ගාලා හොඳ වෙයි. සීබ්‍රා කිව්වා. දහය, නවය, අට, හත, හය, පහ, හතර, තුන, දෙක, එක. කෝ ඒත් තාම ඉක්කාව තියෙනවා.

ඔන්න ඊලඟ සැරේ ඇහැරුණේ මී පැටියට. හරිම කරදරයක්නෙ. නිදහසේ නිදාගන්නවත් නෑනේ. එයා හිතුවා. මීයා ඉක්මනින් අලි රාළ ගාවට ගියා. එයාගෙ කන අස්සට ඔලුව දාලා බූ කියලා කෑ ගැහුවා. අනික් සත්තු පුදුම වෙලා බලන් හිටියා. අලි රාළගෙ ඉක්කාව මෙන්න හොඳ වෙලා.

මී පැටියා හරිම ආඩම්බරෙන් වටපිට බැලුවා. ඔන්න ඉතින් ඉක්කාව හොඳ වුණානෙ. හැමෝම ආයෙමත් නිදා ගත්තා. ඒත් තාම අලි රාළ ඇහැරිලා. ඒ පාර එයාට හෙම්බිරිස්සාව හැදිලා. හච්චෝං ……..

මේ ලස්සන කතාව ජේම්ස් පිලර්ගෙ. සිංහල පරිවර්තනය විදර්ශන ප්‍රකාශකයන් ලග තියෙනවා. රසවත් කතාවක් අහලා ඒ කතාව චිත්‍ර සමග රසවිඳීමට දරුවාට ලබා දීම ඔහුට මහඟු අත්දැකීමක් වේවි. කතාවක් කියද්දි අනිවාර්යයෙන්ම කතාවෙ හිමිකරුව දන්නවානම් එයාගෙ නමත් කියලම දෙමු.

– චම්මි –