දරුවාගේ බුද්ධි වර්ධනයට සරල ක්‍රියාකාරකම් කිහිපයක්

අම්මා කෙනෙක් ලෙස නිරෝගී දරුවෙකු බිහිකල පමණින් ඇයගේ රාජකාරිය නිම වන්නේ නැහැ. වඩාත්ම බාරදූර කාර්‍යය එන්නේ දෙවනුවයි. ඒ දරුවා නිසිශාරීරික, මානසික වර්ධනයකින් යුතුව හදා වඩා ගැනීමේ අභියෝගයට මුහුණ දීමයි. ඉතින් ඒ ගැනයි මේ ලිපිය.

දරුවන්ට එළිමහන් ක්‍රීඩා වල නිරත වීමට ඉඩ දීමෙන් ඔවුන්ගේ ශාරිරික මෙන්ම මානසික වර්ධනයද ඉතාමත්ම යහපත් වනවා. නමුත් අද තිබෙන කාර්‍යය බහුල පරිසරය සමග දරුවන්ගේ ක්‍රීඩා ආදි එළිමහන් කටයුතු වෙනුවෙන් තිබෙන්නේ හරිම සීමිත ඉඩකඩක්. ඒ නිසාවෙන් අපට ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වීමට සිදුවෙනවා. මේ පෙන්වා දෙන්නේ කාඩ්බෝඩ් රවුම් කිහිපයක් ආධාරයෙන් දරුවන්ට කලහැකි ක්‍රීඩා කිහිපයක්. මේ ක්‍රීඩාව දරුවන් කිහිප දෙනෙකුට වගේම තනි දරුවෙකුට හෝ සිදු කරන්නට පුලුවනි. දරුවාගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කිරීම, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සදහා දරුවා හුරු වීම, මාංෂපේශී ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීම වගේම ශක්තිමත් කිරීම මෙවැනි ක්‍රියාකාරකම් වලින් ලබා ගතහැකි ප්‍රථිඵයි.

1.ක්‍රියාකාරකම

දරුවාගේ කකුල තැබිය හැකි ප්‍රමාණයට කාඩ් බෝඩ් රවුම් කිහිපයක් කපා ගන්න. ඒවා එක පේලියට බිමින් තබන්න. රවුම් දෙකක් අතර පරතරය අඟල් 15 ක් පමණ වන සේ තබන්න. දැන් දරුවාට රවුමෙන් රවුමට අඩිය තබමින් ඉදිරියට යන ලෙස පවසන්න. මෙය ඉතා පහසු යැයි ඔබට සිතුනත් සිඟිති දරුවෙකුට එසේ නොවෙයි. දරුවාගේ ප්‍රගතිය අනුව රවුම් අතර පරතරය වැඩි කරන්නට පුලුවනි. දරුවාට අපහසුතාවයක් ඇති නොවෙන අන්දමට රවුම් තැබීමට වග බලා ගන්න.

2.ක්‍රියාකාරකම

පෙර පරිදිම සමාන පරතරයකින් රවුම් පේලියට තබන්න. සම්පූර්ණ අඩිය නොතබා ඇඟිලි පමණක් තබමින් පියවර තබන්නට දරුවාව හුරු කරවන්න.

3.ක්‍රියාකාරකම

මෙහිදී විලුඹ පමණක් තබමින් ඇවිදීම හුරු කරවන්න.

4.ක්‍රියාකාරකම

කාඩ්බෝඩ් රවුමක් කපාගන්න. එය අත්ල මත තබා ඒ මත යමක් රඳවා එය බිමට නොවැටෙන ලෙස නිදහසේ ඇවිදින්නට මෙහිදී දරුවාට ඉඩ හැරිය යුතුයි. දරුවා කැමති සෙල්ලම් බඩුවක් මෙහිදී යොදා ගන්නට පුලුවනි. ඉහත ක්‍රීඩාව දරුවන් කිහිප දෙනෙක් සමග ම කරන්නේ නම් අතින් අතට එය යවන්නට පුලුවනි. අතින් අතට මාරු කිරීමට හැකිවන තරම් පරතරයකින් සිටගෙන සිටීම වැදගත්.

ඒ වගේම මෙය තරඟයක් නොවන අතර එකිනෙක දරුවාගේ ප්‍රතිචාර සහ ක්‍රියාත්මක වීම වෙනස් නිසා ඉවසීමෙන් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම පුහුණුව මිස කිසිම විටෙක ජයාග්‍රාහකයෙකු නොතේරීමට වග බලා ගත යුතුමයි.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles