සාර්ථකත්වය සදහා නිදන කාමරයට ගැලපෙන වර්ණ තෝරා ගන්න

ඔබේ දවස ඇරඹෙන්නේ සහ අවසන් වන්නේ නිදන කාමරයෙන්. ඇසට ප්‍රිය වර්ණයකින් එහි බිත්ති සැරසිය යුතු වන්නේ ඒ නිසායි. වඩා ගැළපෙන වර්ණ මේ ආකාරයට තෝරා ගන්නට ඔබට පුලුවන්.

නිල් පැහැය- නිල් පැහැය නිදන කාමරයකට සුදුසුම වර්ණය ලෙස සැලකෙනවා. නිල් පැහැය සාමාන්‍යයෙන් සලකන්නේ සිසිල් වර්ණයක් ලෙසයි. නිල් පැහැය ආලේප කිරීම මඟින් මනස සැහැල්ලු කරන බවත්, සොම්නසින් නින්දට යා හැකි බවත් කියැවෙනවා. කාමරයේ බිත්තියක අහසක හෝ මුහුදක ඡායාරූපයක් එල්ලීමත් සුදුසුයි.

කොළ පැහැය– හරිත වර්ණයත් සිසිල් වර්ණ කාණ්ඩයට අයත් පැහැයක්. ඇසට ප්‍රියමනාප කොළ පැහැයත් ඔබව ඉක්මනින්ම නින්දට යවන්නටත් හිතේ පීඩාවන් සමනය කරන්නටත් ආත්ම ශක්තිය වර්ධනයටත් සමත් පැහැයක් ලෙස සලකනවා.

දම් පැහැය- වයලට් හෝ ලැවැන්ඩර් වර්ණයත් නිදන කාමර සඳහා ඉතාම සුදුසුයි. මානසික ආතතිය, විශාදය වැනි රෝග වලින් ඔබ පීඩා විඳිනවා නම් මේ දම් පැහැ වර්ණ නිදන කාමරයේ බිත්ති වල ආලේපයත් තිර රෙදි සකසා ගැනීමත් ඉතා සුදුසුයි. ලැවැන්ඩර් මල් වල රූප බිත්තියේ එල්ලීම හෝ ලැවැන්ඩර් මල් බඳුනක් කාමරයේ තබා ගැනීමත් යෝග්‍යයයි.

සුදු පැහැය, රෝස පැහැයත් නිදන කාමරයකට ඉතා හොඳින් ගැළපෙන වර්ණ වෙනවා. ඒත් අළු පාට, දුඹුරු පාට වැනි අඳුරු වර්ණ නම් නිදන කාමරයකට කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ.

ඒ වගේම තැඹිලි, කහ වැනි වර්ණයන් සමාන්‍යයෙන් උණුසුම් වර්ණ ලෙසට හඳුනා ගැනෙනවා.මේවා ආලේපයත් නිදන කාමරයකට ගැළපෙන්නේ නෑ. කාමරවල උෂ්ණත්වය ඉහළ යාම එමඟින් සිදුවීම එයට හේතුවයි.

නිදන කාමරය ඔබ වඩාත් සන්සුන්ව ආදරණීයව සහ සැහැල්ලුවෙන් ගත කරන ස්ථානයක් නිසා සෑම විටම එය ප්‍රියමනාප ලෙස පවත්වා ගැනීම ඉතා වැදගත් බව අමතක කරන්නම එපා.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles