රියෝ 2016 ජයගත් කාන්තා දිරිය

පසුගිය සතියේ රියෝ 2016  ඔලිම්පික් උලෙළ නිමාවට පත්වූයේ අලංකාර පුවත් රැසක් මවමිනි. ක්‍රීඩා ලොවේ මහා මංගල්‍යය සුපුරුදු ලෙස ජයග්‍රහණ රැසක් තිළිණ කලාය. කාන්තාවන් රැසක් තරග රැසකට සහභාගී වුණු අතර මේ සටහන ඉන් සුවිශේෂී අවස්ථා සනිටුහන් කල දිරිය කාන්තාවන් කිහිප දෙනෙක් පිළිබඳවයි..

Pierre de Coubertin Medal, සමස්ත නවීන ඔලිම්පික් ඉතිහාසයේ 17වරක් පමණක් ලබාදී ඇත. එය ඉතා කලාතුරකින් ක්‍රීඩාවේ අසීමිත ගුණය රැකීම උදෙසා පිළිණ වන්නකි. මෙවර එය Nikki Hamblin සහ Abbey D’Agostino නම් මැරතන් ක්‍රීඩිකාවන්ට පිරිනැමිනි. තරගය නිමකරන්නට මීටර 1000 පමණක් තිබියදී තම ප්‍රතිවාදිනිය අනතුරට පත්වූ විට තම තරගය පසෙකලා සහායට දිව ආ Abbey අනතුරිනන් ආබාධිතවූ Nikki සමඟ එකිනෙකා දිරිගන්වමින් තරගය අවසන් කර ක්‍රීඩාවේ තිබිය යුතු සියලු ගුණාංග ලොවට මතක් කර දුන්හ.

සිය ගිනි ගන්නා රට වෙනුවෙන් තරග වදින්නට අන් දිවි රැකදෙමින් පලා ආ වීරවරිය Yusra Mardini කිසිඳු පදක්කමක් දිනා නොගත්තද ජීවිත පදක්කම ඉහළින් දිනුවාය. 18 වියැති මෙම දිරිය යුවතිය සිය ‍සොහොයුරිය හා සිය යුද ගින්නෙන්
වැසී ගිය රටෙන් පලා ආවාය. ඒ බෝට්ටුවකිනි.  පැය තුනක් තිස්සේ බෝට්ටුව ඇදගෙන පිහිනමින් එහි වූ ඉතිරි 19 දෙනාගේ දිවි ගැලවීමට සමත් වූවාය.

බිඳුණු පවුලක ඉපිද ඉරණම වෙනස් කල ඇමරිකානු දිරිය දියණිය Simone Biles අපට පෙන්වා දුන්නේ ධෛර්යයේ
අගයයි. මත්කුඩු වලට ඇබ්බැහි වූ දෙමාපිය යුවලකට දාව ඉපිද නිසි රැකවරණයක් නොමැතිව සිට සිය මුත්තණුවන් සෙවනේ වෙසෙනල තවමත් 19 වියැති මෙම තරුණිය සිය ජන්ම භූමිය රනින් බැබළ වූවාය.

ඉපදෙන්නටත් පෙරම දැරියන්ගේ දිවි බිළිගන්නා රටක් ලෙස නම් දරන ඉන්දියාවේ මෙවර දිනූ පදක්කම් දෙකම හිමි කර දුන්නේ තරුණ කාන්තාවන් දෙදෙනෙකි. කාන්තා හිංසනයෙන් පිරි ප්‍රාන්තයක ඇස් ඇරවමින් Sakshi Malik, මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා දුන්නාය. වයස 12 දී ඇගේ සීයාගේ අඩි පාරේ යමින් මෙම ක්‍රීඩාව තෝරා ගත්තද මුළු ගමම එයට එරෙහි වූයේ එය ගෑනු ළමයෙකුට නොගැලපෙන ක්‍රීඩාවක් බව පවසමිනි.  බැඩ්මින්ටන් රිදී පදක්කම දිනූ P. V. Sindhu සිය රටෙහි ජයග්‍රහනය වෙනුවෙන් බත් පතේ සිට සියල්ල පරිත්‍යාග කල බව ඉතා ප්‍රසිද්ධය.

උතුරු-දකුණු සටන මොහොතකට අමතක කරවූ සුන්දර නවයොවුන් කොරියානු ක්‍රීඩිකවන් දෙපළ, මෙවර ඔලිම්පික් උළෙල තුල සාමයේ බලාපොරොත්තුව දල්වන්න සමත් වුණා. මේ වන විට අන්තර් ජාලයේ වඩාත් කතාබහට ලක්වන selfie එක මෙම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් දෙදෙනා සතුයි.

ඔලිම්පික් සිහිනයක් සැබෑ කරගැනීමයනු ලෙහෙසි පහසු ඉලක්කයක් නොවේ.  ඒ සඳහා යන්ත්‍රයක් මෙන් කටයුතු නොකර මනුෂ්‍යත්වයේ අප්‍රමාණ ගුණදම් පසක් කරන්නට මෙවරද ඔලිම්පික් ක්‍රීඩ්කාවන් සමත් වුනි. රොබෝවන් මෙන් පදක්කම් පසුපස හැල්මේ දුවනා සමාජයක මෙම දිරිය දියණියන් අපට පසක් කලේ මනුෂ්‍යත්වයේ අගයයි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles