පතිනියකගේ සටහන් – 18

“ලැබෙන්න ඉන්නේ දුවෙක් ද පුතෙක් ද නංගි?”
නෑදෑ සොයුරියක් ඒ ප්‍රශ්නෙ ඇහුවේ මගේ ප්‍රියතම කෑම වට්ටෝරුවකින් කෑම හදා ගෙන මාව බලන්න ආපු ගමනකදී.
“අපි බැලුවේ නෑ අක්කේ”
මටත් කලින් භානුක ඒ උත්තරය දුන්නේ සැහැල්ලුවෙන්.
“ඇයි ඒ..එතකොට දරුවගේ ඇඳුම් හදා ගන්න එහෙම කරදරයිනෙ”
අක්කා අහන්නේ හරිම පුදුමයකින්.
“දූලා රෝස පාටයි. පුතාලා නිල් පාටයි කියන්නේ අපිම දාගත්ත නීතියක්නේ අක්කේ. මම කැමති නෑ අපේ බබාට එහෙම පාටටත් නීති දාන්න. එයා එන්න ඕන සීමා ඉරි වෙන් කරපු තැනකට නෙවෙයි. නිදහස් තැනකට”
භානුක හැමදාමත් වගේ ලස්සන උත්තරයක් දුන්නා.
“එක අතකට අපිට තිබ්බේ බබා දුවෙක්ද පුතෙක්ද බලන්න භානු.”
අක්කා සමු අරන් ගියාම මම භානුකට එහෙම කීවේ මට ඒ ගැන දැනගන්න ලොකු ආසාවක් වගේම උනන්දුවක් දැනුණු නිසා.
“කවුරු වුණත් එයා අපේනේ තාරු . අපි දරුවෙක්ව ඕනෑම කියලා හිතලා හදා ගත්තු දරුවා. කවුරු වුණත් අපි එයාට ආදරේ අඩු කරන්නේ නෑනේ. කාමරේ, ඇඳුම් පැළඳුම් රෝස පාට, නිල් පාට කරන්න ඕන නෑ. අපි ඒ පාට දෙකයි තව ලස්සන පාට කීපෙකුයි ගමු”
දැන් ටිකක් නෙරා ආව කුස හෙමින් පිරිමදින ගමන් භානුක කියනවා.
“අනික ඔයා හරිම ආසයිනේ සර්ප්‍රයිස් වෙන්න. බර්ත්ඩේ එකකට පවා ලොකූ සර්ප්‍රයිස් බලාපොරොත්තු වෙන ඔයා ආස නැද්ද ජීවිතේ ලස්සනම මොහොතේ හොඳටම සර්ප්‍රයිස් වෙන්න. එයා නිරෝගී කියලා අපි දන්නවා.හොඳින් හැදෙන බවත් දන්නවා. කවුද කියන පුදුමෙට අපි ආවම මූණ දෙමු”
භානුකගේ මුහුණට ලස්සන හිනාවක් ඇවිත්.
මට නිරෝෂා විරාජිනීගේ ගී පදයක් සිහියට නැඟෙනවා.
“පැටියෝ.. නුඹ දුවක වුණත් මට පුතෙකු වුණත් මා නුඹට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි”
පරිස්සමින් ඉක්මනට එන්න පැටියෝ.. අම්මයි තාත්තයි එක්ක දිග ගමනක් යන්න තියෙනවා. ඔයාව ඒ ගමන පරිස්සමින් එක්ක යන එකයි අම්මාගේ එකම බලාපොරොත්තුව.
-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles