ගෙමිදුලට බෝගන්විලා මල්

මල් වලින් තමන්ගෙ ගෙවත්ත සරසා ගන්න කැමති ඔබටයි මේ ලිපි පෙළ …….

බෝගන්විලා අප අතර ජනප්‍රිය මල් වර්ගයක්. මේ නම සෑදී තිබෙන්නෙ දහනව වන සියවසේදී ලොව වටා මුහුදු ගමන්වල යෙදුණු ප්‍රංශ ජාතික බූගන් විලියා සිහිවීමට බවයි කියවෙන්නේ. ශීත දේශගුණයක් පවතින ප්‍රදේශවල හැර ලංකාවේ අන් ඕනෑම ප්‍රදේශයක මෙම මල් වර්ගය වගා කරන්න්ට පුලුවනි. ශීත දේශගුනයකදී මල් හට ගැනීම සහ පැතිරීම ඉතාමත් වේගයෙන් සිදුවන්නෙ නැහැ.

  • බෝගන්විලා ශාකය වර්ග දෙකක් තිබෙනවා. විශාල වශයෙන් වැල් ලෙස වැවෙන පැරණි වර්ගය සහ කුඩා පඳුරු ලෙස වැවෙන නව ප්‍රභේද
  • පැරණි ප්‍රභේදයේ වසර පුරාම මල් හටගන්නවා. ඒ වගේම විශාල මල් පොකුරු දකින්නට පුලුවනි. සීමිත වර්ණ ප්‍රමාණයක් පමණක් දකින්නට පුලුවන්. නමුත් නව ප්‍රභේද වර්ණ ගනනාවකින් තිබෙනවා. අඩි කිහිපයක් පමණක් උස යන පඳුරු ලෙස මේවා සකසා ගන්නට පිළිවනි.
  • බෝගන්විලා කියන්නෙ තරමක් පැළ කරගැනීමට අපහසු ශාකයක්. නමුත් නිවැරදි වගා ශිල්ප ක්‍රම භාවිතා කළොත් බෝ කරගන්නට පුලුවනි. සිටවීම සඳහා මල් පිපී අවසන් වූ පසුව කප්පාදුවෙන් පසු සෑදෙන අලුත් අතු තෝරා ගත යුතුවෙනවා.
  • එවැනි අතු කැබලි අඟල් 6-8 ත් අතර ප්‍රමාණයට කපාගෙන මුල් අද්දවන හෝමෝන තවරා සිටුවා ගත යුතුයි.
  • වගා මාධ්‍ය ලෙස මතුපිට ලොම් පස් කොටස් එකක්, කොහුබත් කොටස් එකක්, දිරාගිය කොල රොඩු කොටස් බාගයක්, වියලි ගොමකුඩු හෝ කොම්පෝස්ට් කොටස් බාගයක්, හොඳින් මිශ්‍ර කර සකසාගත් වගා මාධ්‍ය යොදා සිටුවාගත් බෝගන්විලා බඳුන් සෙවනක තබන්න. දින පහලවකින් පමණ මුල් ඇදීම සිදුවේවි.
  • මෙම අලුත් පැළ අඩි එකක් එක හමාරක් පමණ උඩට වැවෙන විට ඉහල අංකුරය කඩා දමන්න. එවිට නව අතු රිකිලි මතුවී ශාකයේ බෙදීම් ඇතිවේ. දින 30 කට පමණ පසු හිරු එළිය ලබා දෙන්න. මාස දෙක තුනක් පමණ ගතවන විට මල් හටගන්නා අතර එම කාලය තුළ පොටෑසියම් වැඩි පොහොර යොදන්න. මල් පිපී අවසන් වූ පසුව අතු කප්පාදු කරන්න. එවිට අලුත් අතු දමා පඳුරක් ලෙස වැඩීම සිදුවෙනවා.
  • බෝගන්විලා ශාකය හිරුඑළිය බෙහෙවින්ම ප්‍රිය කරන ශාකයක්. ඒ නිසා හිරු එළිය හොඳින් වැටෙන තැනක තබන්න. වර්ශා කාලයේදී වතුර වැඩිවී ශාකයට හානි පැමිණීමට හැකි නිසා ඒ ගැන සැළකිලිමත් වන්න.

සමහරවිට බැක්ටීරියා ආසාදන ඇතිවෙන්නට පුලුවනි. එවැනි ශාක වගාවෙන් ඉවත් කිරීම සිදුකළ යුතුයි. ඉතින් නේක වර්ණයෙන් බබලන ගෙවත්තක සිහිනය දකින ඔබට බෝගන්විලා කියන්නෙ කදිම හිතවතෙක්.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles