සිසේරියන් සැත්කම ගැන සැත්කමට පෙර දැනගන්න.

සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහිකිරීම ගැන සමාජයේ විවිධ මති මතාන්තර තිබෙනවා.කෙසේ නමුත් ඔබට දරුවා බිහිකරන්නට වන්නේ සිසේරියන් සැත්කමකින් නම් ඒ පිලිබඳ ඔබේ දැනුවත්බව ඉතාමත්ම වැදගත්.එය ඔබට සේම ඔබේ දරුවාටත්,වෛද්‍යවරයාටත් මනා පහසුවක් වනු ඇති අතර මානසිකව ඒ සඳහා බියකින් තොරව සූදානම් වීමටත් එය වැදගත් වේවි.

සිසේරියන් සැත්කම බෙහෙවින් වේදනා අඩු පහසු ක්‍රම භාවිතාකරමින් කෙටි කාලයක් තුල දරු ප්‍රසූතිය සිදුකරන සැත්කමක්. ගැබිණි කාන්තාවන් මෙම සැත්කමට මුහුණදෙන්නේ ප්‍රධාන හේතු දෙකක් නිසායි. එනම් සැලසුම් කර සැත්කම් කිරීම සහ දරුවාගේ හෝ මවගේ හදිසි සංකූලතා නිසා හදිසියේ සැත්කමින් දරුවා බිහිකිරීම.

මෙම සැත්කම නවීන තාක්ෂණය යටතේ අලුත්ම ඖෂධ උපයෝගී කරගනිමින් සිදුකරනවා.
උදරයේ කැපුම් තුවාලය සහ සැත්කමින් පසුව දෙපා ඇතුලේ ලේ කැටිති ඇතිවීම වැනි අවස්ථාවන්ට මුහුණදීමට සිදුවිය හැකියි.

සිසේරියන් සැත්කමට මුහුණදෙන මවක් පහත ආකාරයට සූදානම් වියයුතු වෙනවා.

සැත්කමට සූදානම් වීමට පෙර මවගේ හිමෝග්ලොබින් තත්වය පිලිබඳ සලකා බලනු ලබනවා.එය අඩුනම් පෙර සූදානමක් ලෙස මවට අතිරේක රුධිරය ප්‍රමාණයක් තබාගැනීම කළ යුතුයි.

සැත්කමට පැය හයකට පෙර කෑම බීම නතර කළ යුතුයි.

මේ සැත්කමට සිහි නැතිකරන්නේ නැහැ. සියයට අනූනවයක්ම සැත්කම කරන්නේ මවගේ කොන්දට ලබා දෙන එන්නතක් මගින් උදරයෙන් පහළ හිරිවැට්ටවීම මගින්. එවිට මවට වේදනාව දැනෙන්නේ නැහැ.සිහි නැති නොකරන නිසා දරුවා ගත්විට මවට පෙන්වීමට සහ ඇයගේ ස්පර්ශය සහ කිරි ලබාදීමට හැකියි.දරුවා ඉක්මනින් පිරිසුදු කර මවගේ පියයුරට ළං කරයි.

සැත්කමෙන් පැය එක හමාරක් පමණ ගියපසු මවට දියර පානයක් ලබා දෙයි.ඉන්පසු පහසු ආහාර වේලක් ලබා දෙයි.කෑම දෙන්නේ ප්‍රසූතියෙන් පැය හතරකට පමණ පසුවයි.

ප්‍රසූතියෙන් පැය 7-8 ක් ගිය පසු ඇඳෙන් බස්සවනු ලබනවා.ඒ පාදවල හිරිය ගිය පසුයි. එසේ නොමැතිව බැස්සොත් බිම ඇද වැටීමට ඉඩ තිබෙනවා.එම නිසා හිරි නැතිබව මවගෙන්ද අසා දැනගෙන පරිස්සමින් ඇඳෙන් බැස්සවිය යුතු වෙනවා.

හිරිගිය පසු වේදනානාශක ඔසු ගුද මාර්ගයෙන් ඇතුල් කරනු ලබනවා.ඒ මෝෆීන් හෝ පෙතඩීන් නැමති ඔසුවයි.ක්‍රම ක්‍රමයෙන් කැපුම් වේදනාව පැය 48ක පමණ කාලයක් තුල අඩුවී යනවා.

මේ නිසා කිසියම් මොහොතක වෛද්‍යවරයා ඔබට සිසේරියන් සැත්කමක් කලයුතු යැයි පැවසුවහොත් අනියත බියක් ඇතිකරගත යුතු නැහැ.

(රාගම වෛද්‍යපීඨයේ මහාචාර්‍ය ටිරාන් ඩයස් මහතාගේ ලිපියක් ඇසුරෙන් සකසන ලද්දකි.)

-චම්මි –

Related Articles

Don't Miss


Latest Articles