කුළුදුලේම අම්මා කෙනෙක් වෙන්න පෙරුම් පුරන ඔබට..

විවාහයෙන් පසු බොහෝ යුවතියන්ගේ ළඟම සිහිනය වන්නේ ඉක්මනින් මවක වීමයි. ඉක්මනින් හෝ පසුව හෝ සැලසුම් සහගතව අම්මා කෙනෙක් වීමට සූදානම් වීම ඉතාමත්ම වැදගත්.ඉතින් මේ ලිපිය ගැබිණියක වීමට පෙර ඔබ ඒ සඳහා සූදානම් වියයුතු කෙසේද කියා ඔබ සමග මෙන්ම ඔබේ සහකරු සමගද සාකච්ඡාවකට පදනමක් වේවි කියා අප සිතනවා.

  • විවාහයෙන් පසු ඔබ දෙදෙනා ඔබේ නව නිවසට,අලුත් නෑයන්ට පමණක් නෙවෙයි එකිනෙකාටද හුරුවීමට කාලයක් අවශ්‍ය වනවා.ඒ නිසා ඒ වෙනුවෙන් සුදුසු කාලයක් ලබාගන්න.
  • ජීවිතයේ මිහිර නිදහස සතුටින් විඳින්න. ඉදිරියේදී දරුවෙකු පැමිණි විට දින චරියාවේ බොහෝ වෙනස්කම් සිදුවෙනවා.ඒ නිසා විනෝද ගමන්,සාද ,ලිංගික සතුට උපරිමව ලබාගන්න.ඉදිරියේදී ඒවා නැතිවෙන නිසා නෙවෙයි.රසවත් අතීත මතක ඔබට කාර්‍යබහුල කාලයකදී  දිරිය ගෙනෙන නිසාවෙන්.
  • සැලසුමක් සකස් කරගන්න.එය ඔබ තනිවම නොව සැමියා සමග කරන්නක් විය යුතුමයි.ඔබේ රැකියාව,අධ්‍යාපනික කටයුතු, දේපල මිලදී ගැනීම ආදී සියල්ලම මේ සැලසුමට එකතු කරගන්න.
  • රක්ෂණ ආවරණයක් හෝ ඉතුරුමක් තබා ගැනීම ආරම්භ කරන්න.දරුවෙක් සැලසුම් කරනවා නම් ඒ වෙනුවෙන්ම තැන්පතුවක් දැමීම දැන්ම ආරම්භ කරන තරමට ඔබ දිනුම්.ඉදිරි කටයුතු වලදී මුදල් මදි වේවි යැයි පසුතැවෙන්නට ඔබට සිදු වන්නේ නැහැ.
  • ඔබ කේන්ති යන කෙනෙක් නම් ඉක්මනින්ම ඔබේ ඒ තත්වය වෙනස් කර ගන්න.මවක් විය යුත්තේ ආදරණීය කෙනෙකු මිස නපුරු ප්‍රින්සිපල් කෙනෙකු ලෙස හැසිරෙන කෙනෙකු නොවන බව මතක තබාගන්න.ඔබේ සැමියාටත් මෙය අනිවාර්‍යයෙන්ම අදාලයි.
  • ඔබ සහ සැමියා මත්ද්‍රව්‍ය ලබා ගන්නා අය නම් ඒ ගැන සැලකිලිමත් වන්න.ගැබිනියක ලෙස ඔබට ඇල්කොහොල්, සිගරට් හෝ වෙනත් මත්ද්‍රව්‍ය ලබා ගැනීම දරු ගැබට හානිකර බැවින් එම අවපුරුදුවලින් අත්මිදෙන්න.
  • පෝෂණය ගැන උනන්දු වන්න.උසට සරිලන නිසි බර පවත්වා ගන්න.
  • ගැබිණි සමය ගැන මෙන්ම දරුවන් ගැන ලිපි කියවමින් දැනුම ලබා ගන්න.සැමියාද මෙය අනිවාර්‍යයෙන්ම කළ යුතු අතර ඔහුටද ඒ සඳහා ආරාධනා කරන්න.
  • පසු ප්‍රසව ආතතිය ඇතුලු මානසිකව සමබර නොවන අවස්ථා පිලිබඳ කලින්ම දෙදෙනාම දැනුවත් වී සිටින්න.ඉන් මිදීමට කළ යුතු දේවල් ගැන මනාව දැනුවත් වෙන්න.
  • දරුවා ලැබීමෙන් පසු අවම  වසර දෙකක් සඳහා ජීවිතය සැලසුම් කරගන්න.දරුවා බලාගන්නා අයුරු,ආදායම,ආදී සියල්ලම සැලසුම් කරන්න.
  • සැලසුම් සියයට සියයක් සාර්ථකත්වයට නොපැමිණෙන බවත් ඒ සඳහා වෙනස් ක්ෂණික ක්‍රියාමාර්ගද ඇති බවත් වටහා ගන්න.සැලසුමක් යනු ඔබේ දිවිය පහසු කරන්නක් බැවින් ඉන් පිට පනින අවස්තා පිලිබඳ අනවශ්‍ය තරමට කරදර නොවන්න.ඔබ බොහෝ දෑ සැලසුම් කර ඇති බැවින් එසේ නොවන්නෙකුට වඩා ඔබ සුරක්ෂිත වන අතර සැලසුම් අතර ලිහිල් බවක් තබා ගන්න.

-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles