බෙඩ් ටයිම් ස්ටෝරි 16

0
758

අරුම පුදුම මුට්ටිය

 එකමත් එක රටක සහෝදරියෝ දෙන්නෙක් හිටියා. වැඩිමල් සහෝදරිය හරිම ලස්සනයි.බාල සහෝදරිය හරිම කරුණාවන්තයි. ඒත් මේ දෙන්න හරිම දුප්පත් .එයාලට ආහාරයට ගන්න සුදුසු දේවල් හොයා ගත්තෙ හරි අමාරුවෙන්.දවසක් වැඩිමල් සහෝදරිය කවුළුවෙන් පිටත බලා ගෙන හිටියා. බඩගින්න නිසා ඇගේ උදරය කෑ ගහන්න ගත්තා.දවස තිස්සේ ම ඇය කිසිවක් ආහාරයට ගෙන තිබුණේ නැහැ.
ඇයට හිතුනා කැලෑවට ගිහින් කෑම ටිකක් හොයාගෙන එන්න.ගෙදර කිසිම කෑමක් තිබුනෙ නැති නිසා වතුර බෝතලයක් විතරයි අතට ගත්තේ. ඔන්න ඉතින් එයා කැලෑවේ ඇවිදගෙන ආවා.එයාට හරිම තිබහයි.එයා වතුර බෝතලය අතට ගත්තා විතරයි වයසක ගෑණු කෙනෙක් අමාරුවෙන් එයා ලඟට ඇවිදගෙන ආවා.එයාගෙ තිබ්බේ හරිම අසනීප පෙනුමක්. “අනේ දරුවෝ මට හරිම බඩගිනි! හරිම තිබහයි !” එයා හරිම දුකින් කිව්වා. ඒ විතරක් නෙමෙයි එයා අපහසුවෙන් කහින්නත් පටන් ගත්තා . වැඩිමහල් සහෝදරියට හරිම දුක හිතුනා.
එයා එයාගෙ වතුර බෝතලේ ඉක්මනින්ම මහලු කාන්තාවට දුන්නා . ඒ සමගම මහලු කාන්තාව ලස්සන සුරංගනාවියක් බවට පත් වුණා. වැඩිමහල් සහෝදරිය හොඳටම පුදුම වුණා. සුරංගනාවිය මෙන්න මෙහෙම කිව්වා, ” මම ඔයාට අලුත්ම අලුත් බඳුනක් දෙනවා ඒක හැමදාම ඔයාලට ඕන රසවත් කෑම උයලා දේවි, ඒ වගේ ම ඒක ට අවසර වචනයකුත් මම දෙනවා ඒක දන්නේ නැතුව මේ බඳුනෙන් කෑම ලබා ගන්න බැහැ. “
ඉතින් සුරංගනාව එයාට බඳුනයි අවසර පදයයි කෑම ඉවීම නතර කරන හැටි මේ සියල්ලම කියලා දුන්නා.  ඔන්න ඉතින් වැඩිමල් සහෝදරිය ඉක්මනින්ම ගෙදර ඇවිත් බඳුනට කිව්වා කෑම උයන්න කියලා. එයා හරිම රසවත් කෑම උයන්න පටන් ගත්තා. ඒ දෙන්නට ඇති තරම් කෑම ඉව්වට පස්සේ එයා කිව්වා ඒක නවත්තන්න කියලා. බාල සහෝදරිය ට හරිම පුදුමයි. එයා කවදාවත් කාල නැති තරම් රසවත් කෑම කෑවා. ඔන්න ඉතින් දිනපතාම මේ වැඩේ දිගින් දිගටම වුණා.
එක දවසක් බාල සහෝදරිය ට හිතුණා ගමේම ඉන්න අසරණ අයට කෑම දුන්නොත් හොඳයි නේද කියලා. එයා ඒ බව වැඩිමහල් සහෝදරියට කිව්වා.ඇයත් ඊට ඉක්මනින්ම එකග වුණා. ඒ දෙන්නා ඉක්මනින්ම කෑම වෙලා මුළු ගමේම ඉන්න අසරණ අයට බෙදුවා.ඔන්න ඔය අතරේ වයසක සීය කෙනෙක් මේ ගෙදරට ආවා. ඇවිත් මේ රස කෑම හදන බඳුන එයාලගෙන් ඉල්ලුවා. එයා කිව්වේ එයා ඉන්නේ දුර නිසා උයපු කෑම ගෙනියන්න බැහැ කියලයි. එයාගේ බිරිඳ හොඳටම අසනීපයෙන් සිටින නිසා උණු රසවත් කෑම දිය යුතුයි කියලා ඔහු කිව්වා.හරිම වැඩේ, සොහොයුරියන් දෙදෙනා මොකක්ද කරන්නේ කියලා කතා වුනා. ඒත් අන්තිමට ඒ දෙන්න හිතුවා අසනීප කෙනෙක් නිසා ටික දවසකට බඳුන දියයුතුයි කියලා.
එකවරම මහලු මිනිසා, නැවතත් අර ලස්සන සුරංගනාව බවට පත්වුණා. සුරංගනාව හරිම සතුටින් සොහොයුරියන් දෙදෙනා ට කිව්වා හැමදාම බඳුන ඔවුන් ලග තියාගන්න කියලා. ඉතින් ඔන්න එයාලට විතරක් නෙවෙයි කවදාවත් එයාල ගේ ගමේ ඉන්න දුප්පත් අයටත් කවදාවත් කෑම හිගයක් නම් ආවෙ නැහැ.
-චම්මි-