දරුවා පාසලට ඇතුලත් කරගැනීමට අවශ්‍යවන ලිය කියවිලි ගැන ඔබ දැනුවත් ද?

දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ.

  • දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න දරුවගේ උප්පැන්න සහතිකය ඕනේ.
  • එකම පාසලකට ගණ(කාණ්ඩ) කිහිපයකින් ඉල්ලුම් කරනවනම් එක් එක් ගණවලට(කාණ්ඩ) වෙන වෙන ම අයදුම්පත් ඉදිරිපත්කරන්න ඕනේ. (උදා ඔබ කොළඹ විශාකා විද්‍යාලයට ආදි ශිෂ්‍ය කාණ්ඩයෙන් සහ ආසන්නතා කාණ්ඩයෙන් අයදුම්කරන්න සුදුසුකම් තියෙනවනම් ඒ කාණ්ඩ දෙක සඳහා වෙන් වෙන්ව අයදුම් කරන්න ඔබට පුළුවනි.
  • දරුවා ඇතුළත් කරන්නට ඔබ කැමති පළාත් පාසල් 3ක් ඇතුළුව පාසල් 6කට අයදුම් කරන්න ඔබට පුළුවන් බවත් මතක තබාගන්න. වෙන් වෙන්ව පාසල් වෙත පිළියෙල කරන ඒ අයදුම්පත්වල ප්‍රමුඛතා අනුපිළිවෙළට පාසල් නම් කරන්න ඕනේ.
  • අයදුම් කරන පාසලට ආසන්න පදිංචි කරුවෙක් නම් ඒ බව තහවුරු කරන ලියකියවිලි ඕනේ. ඡන්ද හිමි නාම ලේඛනයේ අවුරුදු පහක පදිංචිය තිබුණොත් ඔබට මේ කාණ්ඩය යටතේ ලබාදෙන ලකුණු 5 ම ලැබේවි. හිමිකම තහවුරු කරන්න මේ ලේඛන ඕනෙ එකකින් පුළුවන්.

(සින්නක්කර ඔප්පු/තෑගි ඔප්පු/දීමනා පත්‍ර/රජයේ ප්‍රදාන/ප්‍රකාශන ඔප්පු/ගෙවීමේ පදනම මත ඇති නිවාස ලේඛන)

  • පදිංචිය තහවුරු කරන්න මේ ලියකියවිලිත් ඔබට යොදාගන්න පුළුවනි.

(ජාතික හැඳුනුම්පත / විදුලි බිල්පත/ජල බිල්පත / දුරකථන බිල්පත්/ දරුවාගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාඩ්පත/ සමෘද්ධි හිමිකම් කාඩ්පත/ විවාහ සහතිකය/ බැංකු ගිණුම් ‍පොත/ ඔබේ රාජකාරී පත්වීම් ලිපිය)

තව දෙයක් මතක තියාගන්න. ඔබ දරුවා ඇතුළත් කරන්නේ ආදිශිෂ්‍ය ගණයෙන් නම්, ඒ කියන්නේ දරුවා ඇතුළත් කරන්න හදන පාසලේ ඔබ ආදිශිෂ්‍යයෙක් නම් පාසල් කාලය තුළ ඔබ ලබාගත් අධයාපන ජයග්‍රහණ ආදිය ඇතුළත් සහතික සහ වෙනත් ලියකියවිලි වෙනම එකතු කරගෙන තියාගන්න. ඒ සහතිකවලට, ඔබේ ක්‍රියාකාරී සහභාගීත්වය ඔප්පු කරන ලේඛනවලට මේ ගණය යටතේ ඔබට ලකුණු ලැබෙනවා.

දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කෙරෙනවා.

  • පාසලට ආසන්න පදිංචිකරුවන්ගේ දරුවන්  – 50%
  • පාසලේ ආදි සිසු/සිසුවියන්ගේ දරුවන් – 25%
  • දැනටමත් අදාළ පාසලේ සහෝදර සහෝදරියන් ඉගෙනුම ලබන දරුවන් – 15%
  • අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දරුවන් – 05%
  • සේවා අවශ්‍යතා මත ස්ථාන මාරු ලැබූ නිලධාරීන්ගේ දරුවන් – 04%
  • දරුවා සමඟ විදේශගතව සිට නැවත පැමිණි දෙමව්පියන්ගේ දරුවන් – 01%

දරුවන් ඇතුළත් කරගන්න සම්මුඛ පරීක්ෂණවලට ගිහින් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරල අපහසුතාවට ලක්වෙන්නෙ නැතිව ඔබට අයදුම් කරන්න පුළුවන් කාණ්ඩය නිවැරදිව තෝරාගන්න. ඉන් පසු ඔබට අවශ්‍ය ලියකියවිලි කල් ඇතිව සූදානම් කරගන්න. හොඳින් මතක තබාගන්න, කිසියම් හෝ වැරදිසහගත ලේඛනයක් ඔබේ අයදුම්පත සමඟ තිබුණොත් ඒ අයදුම්පත සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප වෙනවා. ඒ නිසා ඔබේ දරුවාගේ ජීවිතය එක්ක බොරු කරන්න එපා.

මීට අමතරව 2018 වර්ෂයට අදාළ නව චක්‍රලේඛණයේ අලුතෙන් වෙනස්වී ඇති තොරතුරු දැනගන්න කැමති අයට අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය බලන්න පුළුවනි. මේ තමයි ඒ චක්‍රලේඛය ඩවුන්ලෝඩ්කරගන්න වෙබ් ලිපිනය (www.moe.gov.lk)

– නිරංජලා –

 

Related Articles

Don't Miss


Latest Articles