උපත් පාලන පෙති ගැන දැනුවත් වෙමු..

මේවායින් කරන්නේ ඇ‍ඟේ තියෙන ස්වභාවික හෝමෝන චක්‍රයට බලපෑමක් කරලා ගැබ් ගැනීමක් වැළැක්වීම බව ඔබ දන්නවා ඇති.

මේ පෙති පැකට් එකක පෙති 28 ක් තියෙනවා. ඒ කියන්නේ කාන්තාවකගේ සාමාන්‍ය ඔසප් චක්‍රයේ දින ගණනට අනුව තමයි මේ පෙති පෙළ ගස්වලා තියෙන්නේ. පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් හෝ පවුලේ වෛද්‍යවරයාගෙන් පෙති ලබා ගන්න.
හැම දවසකම එක වෙලාවක බොන්න කියන උපදෙස ඔබට ලැබෙයි. දින දර්ශනයක සටහන් තියාගනිමින් බොන්න පුලුවන් නම් අමතක වීම් මඟ හරවා ගන්නත් හැකියි. එක දවසක් අමතක වුණොත් පසුදා පෙති දෙකක් බොන්න ඕනෑ.

ඔසප් වීම ඇරඹිලා නම් පළමු දින පහ ඇතුළත පළමු පෙත්ත අරගන්න. පෙති පාවිච්චි කරන්න පටන් අරන් මුල් දවසේ සිට දවස් හතක් යනතුරු ලිංගික සංසර්ගයේදී කොන්ඩම් භාවිතා කරන්න කියන එකයි වෛද්‍ය උපදේශය. විවාහ වෙන්න ඉන්න තරුණියකට ගැබ් ගැනීම ප්‍රමාද කිරීමට නම් ලිංගික ක්‍රියා ඇරඹෙන්න මාස එකහමාරකට හෝ දෙකකට කලින් පෙති පාවිච්චිය පටන් ගන්න කියලා තමයි උපදෙස් දෙන්නේ.

හෘද රෝගවලින් පෙළෙන කාන්තාවන්, ඉරුවාරදයෙන් හා අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවන්, අධික තරබාරුව තියෙන අය උපත් පාලන පෙති ලබා ගන්න එක සුදුසු නෑ. අක්මා වලින්, පියයුරු පිළිකාවලින් පීඩා විඳින කාන්තාවන්ටත් සුදුසු නෑ. සමහර කාන්තාවෝ විවිධ රෝගාබාධ වලට දිගුකාලීන ඖෂධ භාවිත කරනවා. උපත් පාලන පෙතිවල ක්‍රියාකාරීත්වයට බාධා ගෙන දෙන ඖෂධ දිගු කාලීනව භාවිත කරන කාන්තාවන් මෙම පෙති ප්‍රයෝජනයට ගැනීමත් සුදුසු නෑ කියල තමයි කියවෙන්නේ. දැනටමත් ගර්භනී තත්ත්වයේ ඉන්නා කාන්තාවන්, වයස අවුරුදු 35 ට වැඩි කාන්තාවන්, කිරි දෙන මව්වරුන් සහ යෝනි මාර්ගයෙන් අක්‍රමවත් රුධීර වහනයන් ඇති කාන්තාවන් මේවා භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ගන්න.

දරුවෙක් ඕනෑයි කියලා හිතන දවසට පෙති නවත්තන්න පුලුවන්. ඒකෙන් පිළිසිඳ ගැනීමේ හැකියාවටවත්, ලිංගික ක්‍රියාවලියටවත් කිසිම කරදරයක්, බාධාවක් නෑ. ඒ වගේම තමයි හරිම පහසු ක්‍රමයක් වීමත් ලොකු වාසියක්. ඕනෑම ෆාමසියකින් ලබාගන්න පුලුවන් වීමත්, මිලෙන් අඩු වීමත් තවත් වාසි විදියට දක්වන්න පුලුවන්.

ඒ වගේම තමයි ඉතාමත් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් විදියට උපත් පාලන පෙති හඳුන්වනවා . මේ පෙති ගන්නකොට ඔසප් චක්‍රය වුනත් ක්‍රමවත් වෙනවා. මාසික ඔසප් වීමත් එක්ක එන උදර වේදනාව වගේම රුධිර වහනයත් අඩු වෙනවා. කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිත යම් යම් රෝග තත්වයන් වගේම ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිළිකාත් සෑදීමත් අඩු වෙනවා . කුරුලෑ (acne) අඩු වෙනවා.

මේ පෙති ලබා ගන්න විට ඇති වන අපහසුතා මාස දෙක තුනක් පෙති ගන්නකොට අඩු වෙලා යනවා. වමනය, හිසරදය, කැරකැවිල්ල, පියයුරුවල වේදනාව සහ ඔසප්වීම් අතරතුරදී මඳ වශයෙන් රුධිර වහනය වෙන්න පුලුවන් වීම තමයි සාමාන්‍ය අපහසුතා.

උපත් පාලන පෙති ඉතා හොඳ සහ පහසු උපත් පාලන ක්‍රමයක්.

Related Articles

Don't Miss


Latest Articles